කෞතුකාගාරයේ අබිරහස 1

 


"කෞතුකාගාරයේ අභිරහස "
("අලුත්ම ශර්ලොක් හෝම්ස් කතාවක් ")
පළමුවන කොටස .
එදින ඉතාමත් හොදින් හිරු පායා තිබුණු දීප්තිමත් දවසක් .උදේ ආහාරගැනීමෙන් පසුව හෝම්ස් සහ මම ව්යායාම සදහා ගොල්ෆ් සෙල්ලම් කරන්න ක්රීඩා පිටියට ගියේ බොහොම දවසක් අයහපත් කාළගුණයත් ,අවිවේකී බවත් නිසා එළිමහනේ ක්රීඩා කරන්නට අවස්ථාවක් නොලැබුන නිසා .අපිට ඉතාමත් හොඳ ප්රබෝධයකින් ටිකක් වෙලා ක්රීඩා කරන්නට හැකිවුණා .පැය තුනක් පමණ ක්රීඩා කිරීමෙන් පසුව ආපසු පා ගමනින් අපගේ නවාතැන වෙත එමින් සිටියදී අපගේ නවාතැන වෙතින් ඉවතට එමින් සිටි අවුරුදු 40 ක් පමණ පෙනුමැති හොදින් හැද පැළදගත් මහත්මයෙක් අපට දකින්නට ලැබුණා . ඒ දුටු විගස හෝම්ස් ,
" වොට්සන් , අනිවාර්යයෙන් ඒ නම් අපිව හමුවෙන්නට පැමිණි අනුග්රාහක මහත්මයෙක් " කිව්වා .
ඉක්මනින්ම අප දෙදෙනා නිවස දෙසට ගමන් කළා. අපිට මුහුණට මුහුණ හමුවූ අමුත්තා හෝම්ස් දෙස බැලුවා .
" සමාවෙන්න මහත්වරුණි, ශර්ලොක් හෝම්ස් මහත්මයා ඔබද ? "
ඔහු අපෙන් විමසුවා .
" ඔවු, මම තමා ශර්ලොක් හෝම්ස් ,"
හෝම්ස් සුරත ඉදිරියට දිගු කරමින් උත්තර දුන්නා .
උණුසුම් ලෙස ප්රතිචාර දක්වමින් අමුත්තා හෝම්ස්ගේ සුරත තදින් අල්ලාගෙන ,
"බොහොම සන්තෝෂයි, මම ඔබතුමා හමුවෙන්න පැය එකහමාරක් බලාගෙන හිටියා . නමුත් ඔබේ ප්රමාදය නිසා පසුව නැවත එන්නට හිතාගෙන ආපසු යන්න සිතුවා."
ඔහු කිව්වා .
"එහෙම නම් අපිට පුළුවන් දැන් කාමරයට ගිහින් ඔබේ ගැටලුව ගැන අහන්නට, යමු නැවත කාමරයට " .
හෝම්ස් එහෙම කියමින් ඉක්මන් ගමනින් අප දෙදෙනා සමඟ අපේ නවාතැන වෙත ගියේ සතුටින් .කාමරයේ සුවපහසු අසුන් වල හිදගෙන මොහොතකට හෝම්ස් අමුත්තා දෙස බලා සිටියා.ඊට පසුව ,
"එහෙම නම් මහත්මයා, ඔබට පුළුවන් දැන් ඔබේ ගැටලුව අපිට පැහැදිලි කරන්න "
ඔහු අමුත්තාට ආරාධනා කළා .
" ශර්ලොක් හෝම්ස් මහත්මයා, මම සිරිල් ෆ්රැන්සිස්කෝ ,මම වැඩ කරන්නේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ ,පැරණි බඩු භාණ්ඩ පිළිබඳව වගකීම් දරන්නේ මම . ඊයේ සවස මම කෞතුකාගාරයේ වැඩ කරලා අවසන් කරලා මා සේවය කරන අංශයේ සියලුම බඩු භාණ්ඩ නිසියාකාරව තැන්පත්ව තිබෙනවාද බැලුවා .ඒවා අඩංගු කබඩි ඔක්කොම යතුරු දාලා වැහුවා.ඒවා මගෙම අතින් තමා හැමදාම අගුලු දාන්නේ .අද උදේ මම නැවත රාජකාරි සදහා පැමිණියා. කෞතුකාගාරය විවුර්ත කරන්න කළින් ඔක්කොම කබඩි නැවත මහජන ප්රදර්ශනය සදහා අගුලු ඇරියා. අනෙකුත් සියල්ල නිසියාකාරව තිබුණත් 5 වැනි ජෝර්ජ් රජතුමාගේ ඔටුන්න තිබුණ කොටස හිස් බව මට පෙණුනා. ඒක ඉතාමත් පෞරාණික වගෙම පවුම් 20000/= ක් පමණ වටිනවා .ඒක ඊයේ එතැන තිබුණ බව මට සහතික වශයෙන් කියන්න පුළුවන්. මම වහාම ගිහින් කෞතුකාගාරයේ අධ්පති තැන්පත් , කොලෝනියල් සාමිවරයා දැනුවත් කළා. එතුමා මා සමඟ පැමිණ නැවත එය අඩංගුව තිබුණ කබඩි එක හොදින් පරීක්ෂා කළා . අපට පෙන්නන්න කිසිම ආකාරයක අගුල් කැඩීමක් දකින්නට තිබුණේ නැහැ .එතුමා සැනෙකින්ම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට දුරකථන ඇමතුමක් දුන්නා සිදුවීම පැහැදිලි කරමින්. ඊට පස්සෙ මම මගේ සහායක වින්සන්ට් මහත්මයා එක්ක මේ ගැන සාකච්ඡා කරද්දී ඔහු මට උපදෙස් දුන්නේ වහාම ඔබතුමා හමුවෙන්න කියලා . නමුත් පොලිසියෙන් එන්න කළින් මට පිටතට එන්න නොහැකි නිසා එතෙක් ප්රමාද වුණා .පොලිසියට මගේ කට උත්තරය දිලා මම ඉක්මනින්ම ආවේ ඔබට මේ ගැටලුව විසදීමට භාර දෙන්න ." ඔහු කිව්වා .
හෝම්ස් ඔහුගේ කතාවට සවන් දුන්නේ උනන්දුවෙන්. ඊට පස්සෙ හෝම්ස් ඇහුව,
" සවස කීයටද කෞතුකාගාරය වහන්නේ ?
"සවස 5.00 ට කෞතුකාගාරයේ ඉදිරි දොර වහනවා . නමුත් නරඹමින් සිටි ජනතාව සමහර විට ප්රමාද වෙනවා .එහෙම වුනොත් අපිට සිද්ද වෙනවා තවත් පැය බාගයක් යනතුරු ඔවුන්ට පිටවී යාමට දොර විවුර්ත කරන්න .ඊයේ එහෙම සිදුවීමක් වුණා .නරඹන්නන් තුන් දෙනෙක් කෞතුකාගාරය තුළ විනාඩි 20 ක් පමණ රැදී සිටියා. ඔවුන් පිටවී ගියේ සවස 5.22 කට බව මට මතකයි ." ඔහු කිව්වා .
"කවුද ස්කොට්ලන්ඩ් යාඩ් එකෙන් පරීක්ෂා කරන්න ආවේ "
" ස්ටැන්ලි හොප්කින්ස් මහත්මය එක්ක තවත් මහත්වරුන් දෙන්නෙක් ඇවිල්ලා පරීක්ෂා කළා මහත්මයා."
!හ්ම්ම්., එහෙම නම් ,අපිට ගොඩක් වෙලා යන්න කළින් ස්ටැන්ලි හොප්කින්ස් මහත්මය දකින්නට පුළුවන් වෙයි මේ කාමරය තුළදීම "
හෝම්ස් කිව්වා .
ඒ මොහොතේ අපිට අපේ දොර අසළ අශ්ව කරත්තයක් නතර කරනවා විතරක් නොවෙයි විනාඩියක් යද්දී තරප්පු පෙළෙන් කෙනෙක් ඉහළ නගිනව ඇහුනා .
" මම එහෙම කියන්නත් ඉස්සෙල්ලා හොප්කින්ස් එනවා . ඒ අඩි සද්දෙ මට හොදින් හුරුපුරුදු නිසා කියන්න පුළුවන් ඒ එන්නේ නම් හොප්කින්ස් මයි කියලා ."
හෝම්ස් කිව්වා .

ස්ටැන්ලි හොප්කින්ස් ඉන්ස්පෙක්ටර් මහත්මය හෝම්ස් ගේ ආරාධනය අනුව අසුන් ගත්තා .
"ඉතිං කියන්න හොප්කින්ස් කොහොමද අලුත්ම තොරතුරු ? , අනිවාර්යයෙන් ඔබ එන්න ඇත්තේ කෞතුකාගාරයේ හොරකම ගැන වෙන්න ඕනෑ ."
හෝම්ස් කිව්වා .
"ඔවු, ශර්ලොක් මහත්මය ,මම ආවේ ඒක ගැන තමා. මට මේ කෞතුකාගාරයේ ඒ අංශයේ භාරකරු මහත්මා කිව්වා ඔබට මේ පරීක්ෂණය කරන්න ආරාධනා කරනවා කියලා .ඉතිං මම ආවේ ඔබත් එක්ක ඒක ගැන සාකච්ඡා කරන්න "
" මට එතුමා පොඩි විස්තරයක් කිව්වා ,නමුත් කිසිම අදහසක් පැහැදිලි කරගන්න ඒවායින් පුළුවන් කමක් නැහැ .ඔබගේ පරීක්ෂා කිරීම් වලින් මොනවාද අනාවරණය වුනේ ? "
" පැහැදිලිවම ඔටුන්න හොරකම් කරලා තියෙනවා. මම කෞතුකාගාරයේ සේවය කරන සේවකයන් 18 දෙනෙක් ගෙන් කට උත්තර ගත්තා. කිසිම අඩි සළකුණක් සොයා ගන්නට නැහැ. සිගරෙට් කොටයක් ,සුරුට්ටු කොටයක් වත් සොයාගැනීමට තිබුණේ නැහැ. හැමතැනම සෙව්වේ පුද්ගලිකවම මම මයි .නමුත් කියන්න කනගාටුයි කිසිම හෝඩුවාවක් නම් ලැබුණේ නැහැ. ඉක්මනින්ම එතැන ඔබම පරීක්ෂා කරන්න ආවොත් යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ "
හොප්කින්ස් කිව්වා .
" එහෙම නම් අපිට සිද්ද වෙන්නෙ ගිහින් බලන්න , වොට්සන් , ඉක්මනින් සූදානම් වෙන්න ඕනෑ ඔබත් "
හෝම්ස් ඔහුගේ පුද්ගලික කුටියට ගියේ එහෙම කියලා .
මම ඉක්මනින්ම සූදානම් වුණා .හොප්කින්ස් ගෙනැවිත් තිබුණ අශ්ව කරත්තයකින් අපිට කෞතුකාගාරය වෙත යන්න පහසුකම් ලැබුණා . ගමන් කරද්දී හෝම්ස් නිහඩවම හිටියත් හොප්කින්ස් අපගේ අනුග්රාහකයාගෙන් ප්රශ්න කළා .
" ඊයේ ඔබ කබඩි එක වැහුවේ තනිවම ද ? එහෙම නැත්නම් වෙනත් කෙනෙක් ඉදිරිපිට සිටිද්දී ද ?"
" හැමදාම සියලුම කබඩි හෝ දොරවල් වහන්නේ අනිවාර්යයෙන් දෙන්නෙක් සිටියදී විතරයි .ඒක නීතියක්. තනිවම කිසිවෙක් කිසිම අගුලක් යතුරු දාන්නේ නැහැ .ඊයේ මමත් මගේ සහායක ජෝශප් එක්ක තමා ඔක්කොම වැහුවේ."
සිරිල් මහත්මය උත්තර දුන්නා .
"එහෙම නම් ඔබ කියන්නේ ඊයේ රෑ මේ හොරකම සිද්ද වෙලා කියලා ද ? "
"ඒක ගැන මම දන්නේ නැහැ .නමුත් හිතන්න තියෙන්නෙ එහෙම තමා .එහෙම හොරකම් කරන්න වුණත් ඉදිරියේ දොර අරින්න වෙනවා ,ඊට පස්සෙ රාජකීය බඩු භාණ්ඩ අංශයේ දොරත් අරින්න වෙනවා .'"
ඔහු පිළිතුරු දුන්නා .
" ඒ දොරවල් වලට යතුරු තියෙන්නෙ කාගේ ළගද ?
"ඒවා ඔක්කොම තියෙන්නෙ කෞතුකාගාරයේ අධ්පති තුමාගේ ළඟ විතරයි . නමුත් ඒවා එතුමා ගෙදර ගෙනියන්නෙ නැහැ . යකඩ සේප්පුවෙ දාලා තමා යන්නේ. හැබැයි යතුරු කැරැල්ල සේප්පුවෙ දාන්නේ තනිවම ගිහින් නොවෙයි . සහායක කෞතුකාගාරධිපති තුමා එක්ක තමා ඒවා සේප්පුවෙ දාලා යතුරු දාන්නේ . සේප්පුව අරින්න වහන්න අංක කරකවන්න තියෙනවා ඔර්ලෝසු මුහුණත වගේ .ඒවා දන්නේ මම දන්නා තරමින් තුන් දෙනෙක් පමණයි .එහෙම අංක කරකවා වහලා ඊට පස්සෙ නැවත යතුරකින් අගුල දාන්න ඕනෑ . ඒ යතුර එතුමා අරගෙන යනවා.

අපිට පුළුවන් වුණා ඉක්මනින්ම කෞතුකාගාරය වෙත ළගාවෙන්නට. ඉස්සෙල්ලාම රථයෙන් බිමට බැස්සෙ හොප්කින්ස් මහත්මය ,ඊළඟට මමත් හෝම්ස් සමඟ බැස්සා .සිරිල් මහත්මය අන්තිමට තමා රථයෙන් බැස්සෙ. ඊළඟට අපි ගියේ කෞතුකාගාරධිපති කොලෝනියල් සාමිවරයා හමුවෙන්න . එතුමා ඉතාමත් උණුසුම් ලෙස අපිව පිළිගත්තා .
" ඔක්කොමත් ඉස්සෙල්ලා අසුන් ගන්න මහත්වරුණි ,සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා , හෝම්ස් මහත්මයාගේ පැමිණීම මට ලොකු සහනයක් ,මොකද මේක මගේ ගෞරවයට වගෙම කාර්ය මණ්ඩලයෙ ගෞරවයටත් බොහොම තදින් බලපෑමක් වෙනවා .මෙච්චර කාලයකට මෙහෙම සිදුවීමක් සිද්ද වෙලා නැහැ , කිසිම හොරකමක් මේ ආයතනයේ සිදුවෙලා නැහැ . සිරිල් මහත්මය කිව්වා ඔබට මේ පරීක්ෂණය භාර දෙන්න යනවා කියලා .එහෙම නොවුනා නම් අනිවාර්යයෙන්ම මම ඔබතුමා හමුවෙන්න පුද්ගලිකව එන්නයි හිටියෙ " සාමිවරයා කිව්වා .
" බොහොම ස්තුතියි ,සාමිතුමණි, මට පළමුවෙන්ම දැනගන්නට වුවමනා වෙනවා ඔබේ ආයතනයේ ආරක්ෂාව පිළිබඳව අරගෙන තියෙන්නෙ මොනවගේ ක්රියාමාර්ගයක් ද ? කියලා ", හෝම්ස් කිව්වා .
" සියල්ලක්ම ඉතාමත් තදින් ආරක්ෂක ක්රමවේද අනුගමනය කරන්න කටයුතු කරලා තියෙනවා ,විශේෂයෙන්ම පෞරාණික භාණ්ඩ තියෙන නිසා ඒවා අඩංගු අල්මාරි අගුලු දාන්නේ අපේ ආයතනයේ ඉහළ නිලධාරීන් දෙන්නෙක් එකතු වෙලා විතරයි .ඒ ඒ අංශයේ ප්රධානියා සහ සහායක නිලධාරියා එකිනෙක අල්මාරි අගුලු දාන්නේ. කිසිම අවස්ථාවක එක්කෙනෙක් විතරක් අගුලු දාන්නේ හෝ විවුර්ත කරන්නේ නැහැ . කෞතුකාගාරය උදේ 8.00 ට විවුර්ත කරන්නේ .සවස 5.00 ට වහනවා .නමුත් සමහර විට නරඹන්නන් ප්රමාද වීම නිසා සවස 5.30 දක්වා අපිට ප්රධාන දොර විවුර්තව තියාගන්න වෙන අවස්ථාවන් තියෙනවා .ඊයේ එහෙම දවසක් .අවසන් නරඹන්නන් තුන් දෙනෙක් විනාඩි 20 ක් විතර ප්රමාද වුණා .සවස 5.22 ට ප්රධාන දොර වහන්න පුළුවන් වුණා .සිරිල් සමඟ ඔහුගේ සහායක ජෝශප් ඒ අංශයේ සියලුම අල්මාරි වැසූ බවට මම දැනුවත් කළේ ඊයේ 5.20 ට පමණ . කෞතුකාගාරය වැහුවාට පස්සෙ පැය දෙකෙන් දෙකට සංචාරක පොලිස් නිලධාරීන් කෞතුකාගාරයේ ඉදිරිපස සහ පසුපස දොරවල් අසල එල්ලා තිබෙන පොලිස් සටහන් පොත් වල අත්සන් තබනවා . ඊට අමතරව කෞතුකාගාරයේ ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් ඉදිරිපස සහ පිටුපස කුඩා කුටි දෙකක ස්ථානගත කරලා තියෙනවා . ඒවා තමා ආරක්ෂක විධිවිධාන "
සාමිවරයා පැහැදිලි කළා .
"මට දැන් බලන්න ඕනෑ ඔබතුමා ලග තියෙන දොර යතුරු ඔක්කොම "
හෝම්ස් කිව්වා .
"මෙන්න තියෙනවා ඔක්කොම යතුරු , මේ තියෙන්නෙ ප්රධාන ඉදිරිපිට දොරේ යතුර. මේවා රාජකීය කෞතුක භාණ්ඩ අංශයේ යතුරු , මේ කුඩා යතුරු කැරැල්ල තමා ඒ අංශයේ අල්මාරි වල යතුරු " . කොලෝනියල් සාමිවරයා පැහැදිලි කළා .
"මට බලන්න ඕනෑ පිටුපස දොරවල් වල යතුරුත්"
හෝම්ස් කිව්වා .
                                      Auther- සොලමන් පෙරේරා
                                                           

Comments

Popular posts from this blog