20 වසරකට පසු විසදුනු අභිරහස

 --------------------------


ඔවුන් අතිශය සුන්දර යුවතියන්ය. එමෙන්ම ඔවුන් හොදම මිතුරියන්ය. ලෝරියා බීබල් සහ ඈෂ්ලි ෆ්‍රීමන් ළදරු පාසැලේ පටන්ම හොදම මිතුරියෝය. ඔවුහු නිතරම වාගේ දුරකථනයෙන් කතා බහ කළහ. සතියකට වතාවක්වත් එකිනෙකා හමුවූහ. ඔවුන් මනසින් පවා කොතරම් සමීප වූවාද යත් එකිනෙකාගේ සිතුවිලි පවා වටහා ගන්නට ඔවුන්ට පුළුවන් කමක් තිබිණ.

මේ දැරියන් දෙදෙනම වාසය කළේ ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ ගම්බද පෙදෙසක, කුඩා නගරයකය. ඈෂ්ලි බාස්කට්බෝල් කණ්ඩායමක සාමාජික ක්‍රීඩිකාවකි. ලෝරියා ඒ කණ්ඩායමෙහි සහායිකාවකි. එතැනත් දෙදෙනා එකටමය. මියෙන තුරුම මේ මිතුදම පවත්වාගෙන යන්නට දෙදෙනා ගිවිස ගෙන උන්හ.

ඉතින් ඒ 1999 අවුරුද්දය. ඒ අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා ඈෂ්ලිගේ දහසය වන උපන්දිනය විය.

“මගේ උපන්දිනේ දවසෙ ඔයා අපේ ගෙදර නතර වෙන්න..” ඈෂ්ලි ලෝරියාගෙන් ඉල්ලුවාය. “ඔයා ඉන්නවා නම් මට වෙන උපන්දින සාදයක් ඕන නෑ..”

යුවතියන් දෙදෙන කතා කරගත් පරිදිම එදා හැන්දෑවේ ලෝරියා ඈෂ්ලිගේ ගෙදර රැය පහන් කරන්නට ගියාය. ඈෂ්ලිගේ අම්මාත් සමග නගරයේ වූ සාමාන්‍ය අවන්හලකට ගිය ඈෂ්ලිත් ලෝරියාත්, ඔවුන්ගේ ප්‍රියතම පීසා කමින් විනෝද වූහ. රාත්‍රිය එළඹෙන විට ඔවුහු යලිත් ඈෂ්ලි ෆ්‍රීමන්ගේ නිවසට පැමිණියහ.

එදා ඒ රැය යහතින් පහන් වෙන්නට ඉඩ ලැබුණේ නැත.

මහ රෑ මැද ඒ මුලු පලාතම එකම කලබැගෑනියක් බවට පත් විය.

“ගින්නක්.. ගින්නක්..” මිනිස්සු කෑ ගැසූහ. ඇතැම්හු ගින්න නිවන්නට වතුර සොයන්නට ගියහ. තවත් සමහරු ගිනි නිවන ඒකකයටත්, පොලිසියටත් අමතන්නට උත්සුක වූහ.

ඒ ගින්නට හසුව තිබුණේ ෆ්‍රීමන් නිවසයි.

අලුයම 5.30 ට පමණ ගිනි නිවන භටයින් පැමිණ ගින්න නිවා දමන විට ෆ්‍රීමන් නිවසින් වැඩි හරියක්ම විනාශ වී ගොස් තිබිණ. ගින්න නිවා දමා, විනාශ වී ගොස් තිබුණු නිවසට ඇතුළු වූ ගිනි නිවන භටයින්ටත්, පොලිසියටත් සොයා ගන්නට හැකි වූයේ කාන්තා මළ සිරුරකි. එය ඈෂ්ලි ෆ්‍රීමන්ගේ මව වූ කැතී ෆ්‍රීමන්ගේ මළ සිරුරයි.

එහෙත් කැතී ෆ්‍රීමන් මියගොස් තිබුණේ ගින්නට හසුවීමෙන් නම් නොවේ. ඇගේ හිස පසාරු වෙන්නට තැබූ වෙඩි පහරකිනි. ඒ වෙඩි පහර තබා තිබුණේ නිවස ගිනි ඇවිලෙන්නට පෙරය.

පොලිසිය මුළු නිවසම පීරා නිවසේ උන් ඉතිරි සාමාජිකයින්ව සොයන්නට වූහ. ඒත් ඈෂ්ලිගේ තාත්තා වූ ඩැනී ෆ්‍රීමන්වත්, ඈෂ්ලි හෝ ඇගේ මිතුරිය ලෝරියාවත් සොයාගන්නට ඔවුන්ට නොහැකි විය. ඔවුන් තිදෙනාම අතුරුදහන්ය.

සිදුවෙන්නට ඇත්තේ කුමක්ද.?

ඩැනී ෆ්‍රීමන් තම බිරිදව මරා දමා, ගෙටත් ගිනි තබා, ඈෂ්ලිවත් ඇගේ මිතුරියවත් රැගෙන පලා යන්නට ඇතැයි පොලිසිය උපකල්පනය කළේය.

මේ අතර තම දියණිය ගැන හෝඩුවාවක් හෝ දැනගන්නට ලෝරියාගේ අම්මාත් තාත්තාත් ෆ්‍රීමන් නිවස වෙත පැමිණියහ. ෆ්‍රීමන් නිවස ඔවුන්ටත් හොදින් හුරු පුරුදු තැනකි. ඒ ඔවුන් තම දියණියගේ හොදම මිතුරියගේ ගෙදරට නිතර ආ ගිය නිසාය. නිතර ආ ගිය නිසාම ඒ නිවසේ ඇති කළ බල්ලා පවා ඔවුන්ට ලෙන්ගතුය.

තමන්ගේ දියණිය ගැන සිතමින් හැඩූ කදුලින් ෆ්‍රීමන් නිවස වටා ඇවිදින ලෝරියාගේ දෙමාපියන්ට හුරු පුරුදු යමක් දකින්නට ලැබිණ. ඒ ෆ්‍රීමන් නිවසේ ඇතිකළ රොට්වයලර් වර්ගයේ සුනඛයාය. පිලිස්සී කඩා වැටුණු නිවසේ සුන්බුන් ගොඩක් ලග ඌ කෙදිරිගාමින් වැතිර උන්නේය. බල්ලාටත් තුවාල වී ඇතිදැයි බලන්නට එතැනට ගිය ඔවුන් දෙදෙනාට, ඒ සුන්බොන් ගොඩ යට අමුතු යමක් තිබෙනු දකින්නට ලැබිණ.

ඔව්. ඒ තවත් මළ සිරුරකි.!

ඒ මළ සිරුර ඩැනී ෆ්‍රීමන්ගේය.

එසේනම් සිදුව ඇත්තේ පොලිසිය උපකල්පනය කළ දේ නොවේ.

කවුරුන් හෝ පැමිණ, කුමක් හෝ හේතුවකට ෆ්‍රීමන් යුවලම ඝාතනය කොට තිබේ. ගෙය ගිනි තබා ඇත්තේ ඒ ඝාතනයේ සාක්ෂි විනාශ කරන්නටය.

ඝාතකයා ෆ්‍රීමන් නිවසට පැමිණියේ කොල්ල කන්නටද.? එසේ නම් දැරියන් දෙදෙනා කොහේද.? නිවසේ තිබුණු මුදල් කොල්ල කාගත් ඝාතකයා දැරියන් දෙදෙනාවත් පැහැරගෙන ගියාද.?

ඊලගට සොයා ගන්නට ලැබුණු දෙයින් ඒ සැකයත් බිදී ගියේය. ඊලග සොයාගැනීම ලෙසින් පොලිසියට හමුවූයේ ලෝරියාගේ මුදල් පසුම්බියයි. එහි ඇගේ රියදුරු බලපත්‍රයත්, ඩොලර් දෙසීයක පමණ මුදලකුත් තිබිණ. එය වැටී තිබුණේද සොයා ගන්නට අපහසු තැනක නොවේ. එනිසා එය ඝාතකයාගේ අවධානයට ලක් නොවූයේ යැයි කියන්නටත් නොහැකිය.

එසේ නම් ඝාතකයා පැමිණ ඇත්තේ මුදල් මංකොල්ල කෑමේ අරමුණින් නොවේ. ඔහු ආවේ දැරියන් පැහැර ගන්නටමද.?

ගොඩ නගන උපකල්පනයන් එකින් එක බිදී වැටිණ. හැම පැත්තකින්ම සෙවීම් කටයුතු කළද කිසිදු හෝඩුවාවක් සොයා ගන්නට හැකි වූයේ නැත. මුලින් දැරියන් දෙදෙනා පණ පිටින් සොයා ගන්නට උත්සාහ කළ බලධාරීහු, පසුව ඔවුන් මරා දමා ඇතැයි උපකල්පනය කොට ඔවුන්ගේ සිරුරු හෝ සොයා ගන්නට සෙවීම් මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. ජලාශ, අත්හැර දැමූ පතල් වැනි හැම තැනකම සෙවීම් කටයුතු සිදු කෙරිණ. එහෙත් කිසිවක්ම හමු වූයේ නැත. දැරියන් දෙදෙනා සුළගට මුසුවී අතුරුදන් වී ගියාක් වැනිය.

දැරියන් දෙදෙනා සොයා මුලු ඔක්ලහෝමා ප්‍රාන්තය පුරාම සෙවීම් කටයුතු සිදු කරන ලදී. සැක කරුවන් දෙතුන් දෙනෙකු සොයාගත්තද අවසානයේදී ඔවුන් එයට කිසිදු සම්බන්ධයක් නැති බව තහවුරු විය. එසේම ඈෂ්ලි ෆ්‍රීමන්ගේ පියා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බවත්, ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ ඔහුට සතුරන් සිටි බවත් අනාවරණය වී තිබිණ. මේ අපරාධය මත්ද්‍රව්‍ය මාෆියා කල්ලි අතර ගැටුමක තවත් අතුරුපලයක් යැයි උපකල්පනය කළ හැකි වුවද එය ඔප්පු කරගන්නට කිසිදු සාක්ෂියක් සොයා ගන්නට හැකි වූයේද නැත. කල් ගත වෙද්දී මේ සිදුවීමද නොවිසදුණු අබිරහස් ගොන්නටම එකතු විය.

එයින් විසි වසරකට පසුව, කුමක්දෝ හේතුවකට, එකී ප්‍රාන්තයේ අධිකරණ වෛද්‍ය විද්‍යා දෙපාර්තමෙන්තුව මගින් මේ නොවිසදුණු අබිරහසේ ලිපි ගොනු යලි පරික්ෂා කරන්නට යෙදිණ. එතැනදී මීට කලින් පරික්ෂාවෙන් මග හැරුණු ලිය කියවිලි වගයක් නැවත කියවා තිබිණ. ඒ ලියකියවිලි මැද තිබී එක් හෝඩුවාවක් හොයාගෙන තිබිණ. ඒ අපරාධය සිදුවුණු ස්ථානයේ තිබී හමුවුණු ජීවිත රක්ෂණ කාඩ් පතකි.

ඒ කාඩ් පත අයත් වූයේ මේ සිදුවීම ගැන සුළු සාක්ෂියක් දුන් ෆිල් වෙල්ච් නම් පුද්ගලයෙකු සමග එකට ජීවත් වන ගැහැණියකටය. මේ අපරාධය සිදුවෙන කාල සීමාව තුළදී ඔහු ඇයට අයත් මෝටර් රිය පාවිච්චියට ඉල්ලාගෙන තිබුණු බව පසුව සොයා ගන්නට ලැබිණ.

ෆිල් වෙල්ච් අපරාධ බොහොමයකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකි. ෆිල් වෙල්ච් අර අපරාධය සිදුවූ රාත්‍රියේ ෆ්‍රීමන් නිවසට පැමිණි බව විමර්ෂණ කණ්ඩායම් වලට දැනගන්නට ලැබී තිබිණ. එසේ නම් සිදුවෙන්නට ඇත්තේ ඩැනී ෆ්‍රීමන් හා ඔවුන් අතර බහින්බස් වීමක් දුරදිග ගොස්, මේ අපරාධකරුවන් විසින් ෆ්‍රීමන් යුවල වෙඩි තබා ඝාතනය කිරීමය. එහි සාක්ෂි විනාශ කරනු පිණිස ගෙට ගිනි තබා ඔවුන් දැරියන් දෙදෙනාව පැහැරගෙන යන්නට ඇත.

ඉන්පසු ලැබුණු සාක්ෂි අනුව අනාවරණය වූයේ මේ අපරාධකරුවන් තිදෙනා විසින් දැරියන් දෙදෙනාව පැහැර ගෙන ගිය බවත්, ඔවුන්ව පැහැරගෙන ගියේ වෙල්ච්ගේ රියේ පසුපස කොටසේ බවත්ය. අපරාධකරුවන් යුවතියන් දෙදෙනාගේ අතපය බැද දමා දින කිහිපයක් තිස්සේ දූෂණයට ලක් කෙරුණු දැරියන් දෙදෙනාව ගෙල සිරකොට මරා, පාලුවට ඇරුණු පතලකට විසි කොට දමා ඇත.

මේ සියල්ල සිදු කිරීමෙන් පසුව වෙල්ච් කර ඇත්තේ අතුරුදන් වූ දැරියන් පිළිබදව පොලිසියෙන් නිකුත් කළ පෝස්ටර් අලවා, දැරියන් පැහැරගන්නට යොදාගත් ඔහුගේ රියේ පසුපස කොටස සම්පූර්ණයෙන්ම ආවරණය කොට, මේ සිදුවීම ගැන කම්පා වන නගරවැසියෙකුගේ චරිතය සාර්ථකව රගපෑමය.

මේ සියල්ල අනාවරණය වන විට වෙල්ච් සහ ඔහුගේ එක් අපරාධ සගයෙකු වූ පෙනින්ග්ටන් නැමැත්තාත් යන දෙදෙනාම මිය ගොසිනි. අපරාධයට සම්බන්ධ වූවන්ගෙන් ඉතිරිව උන්නේ රොනී බුසික් නැමැත්තා පමණකි. ඒ වන විට ඔහු හැට හය වියැති විය. සිවු පුද්ගල ඝාතනය පිළිබදව ඔහුව අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කෙරිණ.

පියෙකුගේ වරදින්, තරුණ දැරියන් දෙදෙනෙකුගේ ජීවිත බිහිසුණු ලෙස විනාශ වී ගියේ එලෙසිනි.

පොඩී ඉල්ලිමක් තියනව කතාව කිය්වනවා වගේම පේජ් එකටත් ලයික් එකක් දාලා අපී එක්ක අත්වැල් බැද ගන්න .

#සොඳුරු_සටහන් ❤️

Comments

Popular posts from this blog