6

  ටිකක් වෙලා ගිහින් මම තීරණය කළේ මේවා එකිනෙක ගැලපෙන්නේ නැති බවයි . මේවා පසුපසින් තව දුරටත් යාමෙන් කිසිදු ප්රගතියක් ලබන්නට නොහැකි බව තීරණය කරන්න මට සිදුවුණා . මගේ සාර්ථක වීම් වගෙම අසාර්ථක වීම් ඔබට දැන්වීම මගේ යුතුකමක් .ඊළඟට තිබුණේ මට සොයාගැනීමට හැකිවූ පෑන පිළිබඳව තොරතුරු ටිකක් අනාවරණය කරගන්න උත්සාහ කිරීම විතරයි . නමුත් ඒකත් ඉතාමත් සීමිත කරුණු කීපයක් මත කරන්න සිදුවීම ලොකු අභියෝගයක් වුණා .නැවත නැවතත් කල්පනා කිරීමෙන් මට මතක්වුණෙත් ඒක වැදගත් උගත් කෙනෙක් භාවිතා කරන්න ඇති එකක් වගෙම ඔහුගේ වයස අවුරුදු 50-60 ක් විය හැකි අතර ධනවත් කෙනෙක් බවයි .මම ඊට පස්සෙ ගියේ කොලෝනියල් සාමිවරයාගේ නිවසට .නමුත් මා හදුනාගන්නට නොහැකි බව මට හොදින්විශ්වාසයක් තිබුණා. වත්තේ වැඩ කරන සේවකයකුගෙන් මම ඇහුවා මොනවා හරි කම්කරු වැඩක් හොයාගන්න පුළුවන්ද කියලා. ඔහු එක්වරම කිව්වේ පුළුවන් වෙයි නමුත් කරන්න තියෙන්නෙ ගස් කප්පාදු කරන්න කියලා . වත්ත වටේටම තියෙනවා යූ ගස් පේලියක් .ඒවා එකම මට්ටමින් කපන්නට පුළුවන් නම් කුළියට පැන්ස 60 ක් ගෙවන්නට නිවසේ සාමිවරයාගේ බිරිඳ කැමති බවත් ඔහු කිව්වා .පෙරදා කෙනෙක් සොයාගෙන එන්නට ඔහුට කී බවත් ඔහු කිව්වා . මම කැමති වුණා .ඕනෑ වැඩක් කරන්න සූදානම් කෙනෙක් මම . පළමුවෙන් මම ඉල්ලුවේ හොඳ කැපෙන පිහියක් . ඔහු ඉක්මනින්ම ගෙනාවේ ලොකු මන්නා පිහියක් සමඟ තේ කෝප්පයක් සහ සැන්ඩ්විච් කීපයක් .

" සාමිවරයාගේ බිරිඳ ඉතාමත් කරුණාවන්ත කෙනෙක් ,එතුමිය කෙනෙක් වැඩක යොදවන්නේ කන්න බොන්න යමක් දීලා විතරයි .එහෙම නෝනා කෙනෙක් කලාතුරකින් තමා දකින්නට ලැබෙන්නේ "
ඔහු කිව්වා .මම සැන්ඩ්විච් එකක් කාලා තේ බොද්දී බොහොම තරබාරු කරුණාවන්ත නෝනා කෙනෙක් එතැනට ආවා .
" ඔහෙගෙ මුහුණ මම දැකලා නැහැ ,මෙහෙ කෙනෙක් නොවෙයි නේද ?"
ඇය ඇහුවා .
" නැහැ ,නෝනා ,මම රස්සාවක් හොයන්න ඇවිල්ලා දවස් දෙකක් වෙනවා .මොකුත්ම හම්බවුනේ නැහැ .මම කූම්බ් ටෙරෙස් පැත්තේ කෙනෙක් "
මම කිව්වේ විස්තර ඇහුවොත් කියන්න පුළුවන් නිසා .
" මේ වැඩේ හරියට කළොත් ඉතිං හැමදාම වුණත් රස්සාවක් දෙන්න පුළුවන් වෙයි , එහෙනම් කරන්න බලන්න ,හැබැයි ගස් ටික නාස්ති කළොත් නම් ඉතිං සාමිතුමාගෙන් බේරෙන්න අමාරු වෙයි "
ඇය පැරණි සේවකයටත් කිව්වා මම වැඩ කරද්දී බලන්න ඕනෑ කියලා ඊට පස්සෙ ඇය යන්න ගියා .
මම ඉතාමත් හොඳින් ගස් කප්පාදු කළා පැය දෙකක් විතර .කැපූ අතු ඉවත් කරන්න ආරම්භ කරලා මම ඊළඟට පැරණි සේවකයට කිව්වා නෝනා ඉන්නව නම් පොඩ්ඩක් කතා කරන්න ඕනෑ කියලා .
ඔහු ඇහුවෙ
"මොකක්ද වුවමනාව ? "
මම ඔහුට කිව්වේ වටිනා යමක් මම ඇහිදලා තියෙනවා ,ඒක බාර දෙන්න ඕනෑ කියලා .
ඔහු තකහනියක් දිව්වා පස්ස පැත්තට . විනාඩි පහක් යද්දී ආවේ නෝනා එක්ක
".ඊයේ මගේ ඇස් කණ්නාඩියත් නැතිවුණා ඔය හරියේ , කෝ ? මොනවාද හම්බවුනේ ,"
ඇය ඇහුවා .
මම ඇයට පෙන්නුවේ මගේ ළඟ තිබුණ පෑන .
" ඊයේ ඉදලා සාමිතුමාගෙන් බේරිල්ලක් නැහැ ඕක මම නැති කරලා කියලා.කොහෙද ඕක තිබුණේ ?"
"හොඳටම විශ්වාසද මේ එතුමාගේ පෑන කියලා "
එහෙම ඇහුවෙ මම .
"ඇයි මට විශ්වාස නැත්තෙ , මේක එතුමාට තෑගි දුන්නේ මම , අපේ විවාහයට අවුරුද්දක් පිරෙන දවසේ ,මේ තියෙන්නෙ අපේ නම් වල මුල් අකුරු "
ඇය මට පෙන්නුවේ පෑන් කොපුවෙ කොටලා තිබුණ K* S අකුරු .
"බොහොම ස්තුතියි ,ඔබට , කුළියට අමතරව පවුම් තුනක් දෙනවා , ඔබේ අවංක භාවයට "
ඇය වහාම ගෙට ගිහින් ආවේ පවුම් හතරක් අරගෙන ,
" ඔක්කොම තියාගන්න. ගස් ටික කපලා තියෙනවා ලස්සනට .කපලා ඉවරයි නම් යන්න පුළුවන් . හෙට ඉඳලා උදේ ඔබේ ඇදුම් එහෙම අරගෙන එන්න ඕනෑ . ඉතුරු අතු ඉති මම ජෝන්ට කියලා අස්කරගන්නම්"
එහෙම කියාපු ඇය සතුටින් නික්මගියා.
"පවුම් හතරක් උපයාගෙන ඉතාමත් වටින හෝඩුවාවක් සිතේ තියාගෙන මම එන්න
ආවා "
හෝම්ස් ඔහුගේ දවසක වැඩ ගැන අපිට විස්තර කළා.
          පසුදා උදෑසන මම නින්දෙන් පිබිදී මුහුණ සෝදා උදේ තේ බීමට සූදානම් වෙද්දී හෝම්ස් නිදිබර ගතියෙන් යුතුව නාන කාමරයට ඇතුලු වෙනවා මම දුටුවා .එබැවින් ඔහු පැමිනෙන තෙක් පමාවෙන්නට තීරණය කළා . විසිත්ත කාමරයේ මේසය මත උදේ පුවත්පත් තිබුණා . මම අතට ගත්තේ Morning Cronical පත්තරය . ලොකු සිරස් තලයක් තිබුණේ කෞතුකාගාරයේ හොරකම සම්බන්ධයෙන් .
"හොරු නිදැල්ලේ , පොලිසිය නිදි"
පෙරේදා රාත්රීයේ කෞතුකාගාරයේ තිබූ පවුම් 20000 කට අධික වටිනාකමක් ඇති 5 වැනි ජෝර්ජ් රජතුමාගේ ඔටුන්න නැතිවූ බවත් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය ඒ පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත් ඊයේ අපගේ පුවත්පත් ඉතාමත් දැඩි අවධාරණයෙන් ප්රකාශ කළෙමු .නමුත් පොලිසිය තවමත් නිශ්චිත සැක කරුවෙකු හෝ අත් අඩංගුවට ගෙන නැති අතර කෞතුකාගාරයේ සේවය කරන ආරක්ෂක නිලධාරියකු ප්රශ්න කිරීම සදහා යැයි පවසමින් රදවා ගෙන සිටීම හැර වෙනත් කිසිම ප්රගතියක් පෙන්වීමට සමත් වී නැත. ජනතාවගේ බදු මුදලින් පොලිසියට වැටුප් ගෙවමින් නඩත්තු කරන්නේ මෙවැනි අවස්ථාවන්හිදී ඉතාමත් ඉක්මනින් පරීක්ෂණ සිදුකර වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට නොවේද ?
ඉහතින් සදහන් කරන ලද්දේ පුවත්පතෙහි තිබූ වාර්තාවක කොටසක් පමණි. අනෙකුත් පුවත්පත් පවා එවැනි සිරස්තල යොදාගෙන තිබුණි. මා එසේ ගතකළේ විනාඩි 20 ක් පමණ කාලයක් පමණයි .හෝම්ස් ,
"සුබ දවසක් වේවා වොට්සන් , මොනවාද පත්තර වලින් කියන්නේ ?"
"සුබ දවසක් වේවා හෝම්ස් ,
හොප්කින්ස්ට නම් උදේ පාන්දර තේ එකත් තිත්ත වෙලා ඇති , පත්තර ඔක්කොම පොලිසියට නොසෑහෙන තරම් දෝශාරෝපන කරලා , හැබැයි කිසිම අලුත් තොරතුරක් නම් නැහැ "
මම උත්තර දුන්නා .
" ඉස්සෙල්ලාම අපි උදේ ආහාරය සමඟ තේ එකක් බොමු. ඊට පස්සෙ සාකච්ඡා කරන්න පුළුවන් මෙතෙක් අපිට කොපමණ දුරකට ඉදිරියට යන්න පුළුවන් වුනාද කියලා "
හෝම්ස් කිව්වා .
බිත්තර ඔම්ලට්, නූඩ්ල්ස් , බේකන් පෙති කීපයක් උදේ ආහාර වශයෙන් අපිට හඩ්සන් මහත්මිය එවා තිබුණා .හෝම්ස් වෙනදාට වඩා ආහාර ඉතාමත් රුචිකත්වයකින් අනුභව කළා .නිහඩවම ආහාර ගැනීම නිමාවට ළගාවෙන්නට සිදුවුනේ හෝම්ස් කල්පනාවක් තුළ නිමග්නව සිටි බව පෙන්නන්න තිබීම නිසා .
" වොට්සන් , හොදින් උදේ ආහාර ගැනීම අපිට අද ඉතාමත් වැදගත් වෙනවා . පැය 10 ක් ඇතුළත කොහොම හරි හොරකම් කරලා තියෙන ඔටුන්න හෝ හොරු අල්ලාගෙන නීතිය ඉදිරියට ගෙනෙන්න ඕනෑ . එහෙම නොවුනොත් පොලිසියට විතරක් නොවෙයි අපිව වුණත් ජනතාව විවේචනය කරාවී . මම දැක්කා පත්තර කීපයක් සදහන් කරලා තියෙනවා මේ පිළිබඳව අපි දෙන්නාත් පරීක්ෂා කරනවා කියලා . මේවා කවුරුන් කොහොම සොයාගෙන පත්තර වලට ලියනවාද මම දන්නෙත් නැහැ , හොයන්නෙත් නැහැ . දැන් රටට බලපෑමක් වෙන සියලුම හොරකම් පිළිබඳව පත්තර නිතරම ලියන්නේ ,"
" ප්රවීණ රහස් පරීක්ෂක උපදේශක ශර්ලොක් හෝම්ස් මහත්මා මේ පිළිබඳව පරීක්ෂා කිරීමට ඔහුගේ සහායක වොට්සන් මහත්මයා සමඟ කටයුතු කරන බව ඉතාමත් විශ්වාස දායක ආරංචි මාර්ග ප්රකාශ කරයි "
කියලා .
ඊයේ මම යද්දී හොප්කින්ස් මගේ පස්සෙන් එනබව මම දැනගෙන හිටියා. මම කළේ සෙනගක් අතරින් ඔහුට නොපෙනී ආපසු අනිත් පැත්තට හැරිලා අතුරු මාර්ගයෙන් මගේ ගමනාන්තය වෙත යාම .කෙලින්ම මම ගියේ මට ලැබුණ හෝටලයක බිල් පත ගැන පරීක්ෂා කරන්නට . රෝයල් හෝටලය ,කාමර අංක 75 සදහන් බිල්පතක් ඒක .මම හෝටලයට ගිහින් හමුවුනේ කාමර සේවකයන්ගේ ප්රධානියා , (එහෙම නැත්නම් room services head steward) පළමුවෙන්ම මම ඔහුට දුන්නා සිලිං පහක්. ඊට පස්සෙ ඔහුගෙන් විමසුවා පෙරේදා අංක 75 කාමරයට සේවය සැපයූ සේවකයා කවුරුන්ද කියලා . ඔහු එක්වරම උත්තරයක් දෙන්න කැමති වුනේ නැහැ. ඔහුට දැනගන්නට වුවමනා වුණා එහෙම අහන්නට හේතුව මොකක්ද කියලා. මම කිව්වා මගේ යාලුවෙක් තමා කාමරය කුළියට ගත්තේ ඔහුගේ අමතක වීමෙන් ඔහුට අයිති කුඩා සටහන් පොතක් කාමරය තුළ දමා ගිහින් ඒක පිළිබඳව අහන්නට විතරයි ඕනෑ කියලා . මම පුදුම වුනේ ඊළඟට ලැබුණ උත්තරයෙන්.
" කාමරය පිරිසිදු කරද්දී ජිම් දැකලා තියෙනවා ඇද යට වැටිලා තිබුණ පොඩි පොත් පිංචක් . ඔහුගේ වගකීම තමා එහෙම ලැබෙන දේවල් මට දැන්වීම .ඉතිං ඒක ගෙනැවිත් මට දෙන්න ඔහු අමතක කළේ නැහැ .මෙන්න තියෙනවා මහත්මය ඒක "
ඔහු ඒක මට පෙන්නුවා . ඇත්තටම ඒක කිසිසේත්ම බලාපොරොත්තු නොවුනත් හොඳ තොරතුරක් . මම ඒක බැලුවා ,ඔක්කොම තිබුණේ වැදගත් තොරතුරු බවත් අයිති කරුගේ නම ක්වින්ටස් කෙප්ලර් බවත් සදහන් කරුණු අතරින් මට පෙනුනා. සටහන් පොත මා වෙත ලබාගන්නට නම් හෝටලයේ කළමනාකරු හමුවෙන්න සිදුවන බව ඔහු මට කිව්වා. සන්තෝෂමක් දීලා ගන්න උත්සාහ කිරීම අසාර්ථක බව පෙන්නන්න තිබුණා . මම ඔහුගෙන් ඇහුවා ,
"ඔබ දන්නවා ද ශර්ලොක් හෝම්ස් මහත්මයව ?"
" දැකලා නම් නැහැ ,හැබැයි අතිදක්ෂ රහස් පරීක්ෂක මහත්මයෙක් , ඔන්න අද පත්තර ඔක්කොම දාලා තියෙනවා එතුමා ඔටුන්න හොරකම හොයන්න යනවා කියලා . දවසක හමුවෙන්න ලැබුනොත් නම් ඉතිං ඊට වඩා සතුටක් නැහැ "
ඔහු උත්තර දුන්නා .
දවස මට වාසනාවන්ත එකක් බව හොදින් තේරුම් ගන්න ඊට වඩා කරුණු වුවමනා නැහැ .
" එහෙම නම් ,මිත්රයා ,මම තමා ශර්ලොක් හෝම්ස් , මට ඔබේ උපකාර ඉතාමත් අවශ්ය වෙලාවක් මේක . පෙරේදා කාමරය තුළ අමතක වෙලා ගිය පොත මගේ පරීක්ෂණ සදහා වුවමනා සටහන් වගයක් . හැබැයි මේක ඔටුන්න සම්බන්ධයෙන් නොවෙයි .මට ප්රමාද වෙන්න බැහැ .ඔබට යම්කිසි විදිහක අපහසුතාවක් වුනොත් ඇවිල්ලා මාව හමුවෙන්න පුළුවන් .සටහන් පොත මට දෙන්න , මෙන්න මගේ ආගන්තුක පත්රය "
කියලා මම ඔහුට කිව්වා .
" හෝටලයේ නීතිය අනුව නම් මේක දෙන්න බැහැ. නමුත් ලෝකයේ ප්රසිද්ධම කෙනෙක් හැටියට ඔබතුමන්ගේ ඉල්ලීම මට නොසළකා හරින්නට බැහැ ,
කියලා ඔහු මට ඒක දුන්නා .
උවමනාවක් වුනොත් අපිට දුරකථන ඇමතුමක් දෙන්න කාමරයෙ ටෙලිෆෝන් අංකය දීලා මම ඉක්මනින්ම එතැනින් පිටත් වෙලා ඇවිල්ලා සටහන් පොත හොදින් කියවලා බැලුවා.
                                         Auther - Solaman Perera
             

Comments

Popular posts from this blog