8
ඊළඟට මම ගියේ මේ සටහන් පොතේ සදහන් ලිපිනයක් සොයාගෙන . ලන්ඩනයේ බේ බෲක් වීදියේ අංක 38 , සිම්ප්සන් මැකෝන් නමින් තමා ඒකෙ සදහන් කරලා තිබුණේ. වෙලාව රාත්රී 8.25 යි. ගිහින් දොරේ සීනුව නාද කරලා විනාඩි කීපයක් යද්දී දොර ඇරියේ අවුරුදු 55 ක් විතර වයසැති අඩි පහමාරකට වඩා උස කෙට්ටු මහත්මයෙක් .
" ඇයි ,මහත්මය මොකක්ද වුවමනාව ?"
ඔහු ඇහුවා .
" සුබ සැන්දෑවක් මහත්මයා, මට ටිකක් කතා කරන්න පුළුවන් නම් ඔබට බොහොම ස්තුතියි ."
මම කිව්වා .
"මොකක් ගැනද මහත්මයාට කතා කරන්න වුවමනා ?"
ඔහු ඇහුවා .
" මට දැනගන්නට ලැබුණා ඔබ ක්වින්ටස් කෙප්ලර් මහත්මය හදුනනවා කියලා .ඉතිං මට වුවමනා වෙන්නෙ ඔහුගේ වර්තමාන ලිපිනය දැනගන්නට "
" ක්වින්ටස් ඉස්සර හිටියේ නම් මේ කිට්ටුව තමා . නමුත් දැන් නම් ඉන්නෙ බොහොම ඈත පළාතක. පොඩ්ඩක් හොයන්න වෙනවා ලිපිනය හොයාගන්න .එහෙම නම් මහත්මය ඇතුලට ඇවිල්ලා වාඩිවෙන්න "
එහෙම කියලා මට අසුනක් පෙන්වලා ඔහු ගියේ ඔහුගේ කාමරයට . ගිහින් සුලු වෙලාවක් යද්දී ආවේ ලියුම් කවරයක් අරගෙන .
" මේක මට ලැබුණේ ගිය සුමානෙ. ආපසු ලිපිනය ලියලා තියෙනවා . මේකෙ තියෙනවා , ක්වින්ටස් කෙප්ලර් , අංක 62/ B , ශාන්ත බෙනඩික්ට් පල්ලිය පාර , උතුරු යෝක්ෂයර්.
වුවමනා නම් ලියුම් කවරය තියාගත්තත් වරදක් නැහැ , මට පුළුවන් නම් කියන්න මහත්මය කවුද ? ඔහුව හොයාගන්න ඕනෑ මොකටද ? කියලා .
" කිසිම රහසක් නැහැ , මම ඔහුගේ මිතුරෙක් . හැබැයි බොහොම කාළෙකින් හමුවෙලා නැහැ .මට කියලා තිබුණේ බේ බෲක් වීදියේ ක්ලබ් එකෙන් ඇහුවම හොයාගන්න පුළුවන් කියලා .ඔබේ නම කිව්වේ ක්ලබ් එකෙන් ඇහුවම , ඒගොල්ලන් කිව්වා ගොඩක් කාලයක් දැක්කෙ නැහැ ,ඔබෙන් ඇහුවොත් කියාවි කියලා .මම ජෝන් ෆර්නැන්ඩස් .
බොහොම ස්තුතියි මහත්මය .ඔබට සුබ රාත්රීයක් වේවා "
මම එහෙම උත්තර දීලා ආපසු ආව.මට ඒ ලිපිනය හොයාගන්න වුවමනා වුනේ සටහන් පොතේ සදහන් ව්යාකූල වාක්ය කීපයක් නිසා .ඒවා ඇත්තටම රහස් සටහන් තැබීම සදහා භාවිතා කරන විදිහේ ඒවා . ඔබට බලන්න පුළුවන් .මෙන්න මේ වාක්ය වල තේරුම් කියන්න පුළුවන්ද බලන්න , කියලා හෝම්ස් මට වාක්ය කීපයක් පෙන්නුවා .
Aernytueuryd hmeuvseihunm , jgeost ojeomrmg scertofwbn. 1893-07-08
මම පුදුම වුනේ කිසිම විදිහකින් තේරුම් ගන්න බැරි අකුරු ගැලපීමක් නිසා . නමුත් දිනය තිබුණේ කෞතුකාගාරයේ හොරකම සිද්ද වෙච්ච දවස බව මට මතක තිබුණා .
"වාක්ය වල තේරුම් නම් මම දන්නේ නැහැ ,හැබැයි දිනය නම් හොරකම සිද්ද වෙච්ච දවස නේද ?"
මම කිව්වා .
" වොට්සන් , ලෝකයේ රහස් පණිවිඩ ලියන්න භාවිතා කරන ක්රම වේද පිළිබඳව මම පොතක් පවා ලිව්වා කියලා ඔබ දන්නවා . මේක විසදීමට බැරි නම් මට මගේ රස්සාව අත් හරින්නට වෙනවා . මේක විවුර්ත කරන්න උවමනා වෙන්නෙ පොඩි යතුරක් විතරයි .බොහොම ප්රාථමික භාෂා ව්යාකූල කිරීමක් විතරයි තියෙන්නෙ "
එහෙම කියාපු හෝම්ස් මට කිව්වේ අකුරක් හැර අකුරක් නැවත ලියන්න කියලා .
entered museum got Jorge crown .
විශිෂ්ඨයි හෝම්ස් ,විශිෂ්ඨයි .
මම කෑගහලා කිව්වේ අතිශය සතුටින් .
"එහෙම නම් දැන් තියෙන්නෙ ක්වින්ටස් කෙප්ලර් අල්ලාගෙන ඔටුන්න ගන්න විතරයි .
අපිට පුළුවන් ගිහින් ඔහුගෙන් ඒක ගන්න ."
මම කිව්වා .
" වොට්සන් , වහාම එන්න කියලා හොප්කින්ස්ට දුරකථන ඇමතුමක් දෙන්න .මම බලන්නම් යෝක්ෂයර් යන්න කෝච්චිය තියෙන්නෙ කීයටද කියලා "
හෝම්ස් කිව්වා .
මම හොප්කින්ස්ට කිව්වේ වහාම එන්න කියලා විතරයි ,ඔහු නොයෙකුත් ප්රශ්න ඇහුවත් මම කිසිම විස්තරයක් නොකියා ඇමතුම විසන්ධි කළා . උදේ 9.35 ට ලන්ඩනයේ සිට දුම්රියක් තිබෙන බව හෝම්ස් කිව්වේ ඔහුගේ රිවෝල්වරය පිරිසිදු කරමින් .බරපතළ මෙහෙයුමක් ඉදිරියේ තිබෙන බව මට පැහැදිලි වුණා .
" වොට්සන් ,ක්වින්ටස් කෙප්ලර් කියන්නේ සෙල්ලම් කරන්න පුළුවන් විදිහෙ මිනිහෙක් නොවෙයි . ඉලක්කයට වෙඩිතැබීමට නම් දැරූ අපේ පැරණි මිතුරා ඔබට මතක ඇති. මොරියාටිගෙ දකුණු අත වගේ ඉදපු සෙබස්තියන් මොරාන් අංක එක නම් මොහුට අංක දෙක දෙන්න පුළුවන්. රැකියාවක් හැටියට කරන්නේ හොර බඩු අපනයනය කිරීම ,කුළියට මිනී මැරීම සහ හොර සල්ලි අච්චු ගැසීම වගේ දේවල් ."
විස්තරය අවසන් කරන්න ඉස්සෙල්ලා හොප්කින්ස් ආවේ විදුලි වේගයෙන්. තරප්පු පෙළෙන් ඇහුනේ ඔහුගේ වේගවත් ඉහළ නැගීමේ හඩ .
" සුබ උදෑසනක් හෝම්ස් ,වොට්සන් මහත්වරුණි , මොකක්ද අලුත්ම ආරංචිය ?"
ඔහු ඇහුවා .
" එච්චර අලුත් තොරතුරු නැහැ ,හොප්කින්ස් , අපිට යන්න වෙනවා යෝක්ෂයර් පැත්තට .ඔබ අහලා තියෙනවාද ක්වින්ටස් කෙප්ලර් ගැන ?"
හෝම්ස් ඇහුවා .
" කවදාවත් හමුවෙලා නැහැ , හැබැයි අපිට බොහොම කාලෙක ඉදලා අවශ්යයම මිනිහෙක් . පොලිස් දෙපාර්තමේන්තුව බොහොම කැමති වෙයි "
" මිනිහා ගෙදර හිටියොත් අපිට හමුවෙන්න පුළුවන් වෙයි , හැබැයි නැත්නම් හොයාගන්න ටිකක් අමාරු වෙන්න ඉඩතියෙනවා. මම උදේ පාන්දර ඔහුට පණිවිඩයක් යැව්වා දවල් 2.30 ට ඔහු හමුවෙන්න එන බව දන්වලා. ඔබට කියන්න වුවමනා නැහැ ,ඒක යැව්වෙ මගේ නියම නමෙන් නොවන බව.' ඉතාමත් රහසිගත ලෙස නීත්යානුකූල නොවන මුදල් විශාල ප්රමාණයක් මාරු කරගැනීමට අවශ්ය බව ඔහුගේ රහස් භාෂාව භාවිතා කරමින් ලියාපු පණිවිඩයක් යැව්වාම ඔහු අනිවාර්යයෙන් දන්නවා ඔහුගේ ඉතාමත් ලග මිතුරෙකුගෙන් බව. ඒ සදහා මම භාවිතා කළෙත් ඔහුගේ මිතුරෙකුගේ නමක්. අපිට උවමනා වෙන්නෙ හොඳ නිර්භීත ,එඩිතර තරුණ පොලිස් නිලධාරීන් හතර දෙනෙක් සිවිල් ඇදුමෙන් . රිවෝල්වර අරගෙන එන්න ඕනෑ .ඉක්මනින් දුරකථන ඇමතුමක් දීලා ලන්ඩන් දුම් රිය පොළට 9.25 ට එන්න කියන්න ඕනෑ ."
සියල්ල සූදානම් කරලා අවසන් වීමෙන් පසුව හෝම්ස් ,හොප්කින්ස් සහ මම ගමණට පිටත් වුනේ හොප්කින්ස් ගෙනැවිත් තිබුණ අශ්ව කරත්තයෙන් . දුම්රිය පොළට ලගාවෙද්දී හොඳ ආරෝහ පරිනාහ තරුණයින් හතර දෙනෙක් හොප්කින්ස්ට ආචාර කළා .විනාඩි 10 ක් ඇතුළත අපි හයදෙනෙකු සීඝ්රගාමි දුම්රියෙන් යෝක්ෂයර් බලා ගමන් කරමින් හිටියා. පොලිස් නිලධාරීන් නැගූ ප්රශ්න කිසිවකට හෝම්ස් උත්තර දෙන්න කැමති වුනේ නැහැ . නිහඩවම පයීප්පය දල්වාගෙන ඔහුගේ කල්පනා ලෝකයේ තනිවී සිටියා .....
Auther - solaman perera
Comments
Post a Comment