ගිණිගත් ආදරය

 


හෙලෝ..හෙලෝ..ඔයා කොහෙද ඉන්නේ දක්ෂිණා ?
හෙලෝ..මම මේ ඔයාව මීට්වෙන්න එන ගමන්..මොකද ඔයා කලබලෙන් ? ඇයි මේ වට්සප් එකෙන් ප්‍රදීප් ? 
එපා එපා අද එන්න එපා..පොලිසියට අපිව ටිකක් සැකයි වගේ දක්ෂිණා..ඒකයි මම වට්සප් එකෙන් ගත්තේ..මගෙන් සෑහෙන්න හරස් ප්‍රශ්න ඇහුවා..මාත් ඉතින් ලස්සනට උත්තර දුන්නා..
ඇත්තද ? මට නම් ටිකක් බයත් වගේ අනේ..
බයවෙන්න එපා..බය වුණොත් ඔක්කොම ඉවරයි..මේ මරණය ස්වභාවිකව වුණා කියලා පෙන්නුවා නම් අපි දෙන්නම ගොඩ.. දිස්නගේ දේපළ කොහොමත් මගෙ නමට ලියලා තියෙන්නේ.. බෑන්ක් එකේ හැම FD එකකටම Nominee දාලා තියෙන්නේ..කෝටි ගාණක සල්ලි ඇති අපි දෙන්නා මැරෙනකම් ජීවත් වෙන්න..
පුතාගේ නමට ලිව්වේ නැද්ද එයා ?
මාර ගේමක් දීලා ඒක පොඩ්ඩක් පස්සට දාගත්තේ.. තව සතියක් දෙකක් එහෙ මෙහෙ වුණා නම් පුතාගේ නමට ලියනවා..මම පුතාගේ උප්පැන්න සහතිකේ හදන එක පරක්කු කර කර හිටියේ..
අපි මාර risk එකක් ගත්තේ ප්‍රදීප්..
Risk එකක් ගන්නේ නැතුව Fun එකක් ගන්න බෑ ළමයෝ..Depositsම විතරක් කෝටි 15කට වැඩියි.. නුගේගොඩ දැන් ඉන්න ගෙදරයි, හැටන් වල තියෙන තේ වතු දෙකයි..පිස්සු හැදෙනවා හිතා ගන්න බෑ..
අම්මෝ...මට නම් හීනයක් වගේ..එච්චර සල්ලි ?
ඔව්..ඔව්.. අපි දැන් ගේම් එකේ අන්තිම තැනට ඇවිල්ලා ඉන්නේ.. ගැස්සෙන්න දෙන්නේ නැතුව game finish කරන්න ඕන..
මම දැන් පොලිසියට යනවා.. මට එන්න කියලා තියෙනවා අද උදේ 8.30 ට.. මං පස්සේ කෝල් එකක් දෙන්නම්..
හරි ප්‍රදීප්..පරිස්සමෙන්..
ගුඩ් මෝනිං ඉන්ස්පෙක්ටර් !
ගුඩ් මෝනිං මිස්ටර් ප්‍රදීප් ! මොකද වෙන්නේ ඉතින් ?
මොනවා වෙන්නද සර්..? මගේ මුළු ලෝකෙම විනාශ වුණා.. ( ප්‍රදීප් ඔළුව නමාගෙන එක් අතකින් දෙනෙත් පිස දමයි. )
මට තේරෙනවා මිස්ටර් ප්‍රදීප්..මට තේරෙනවා.. තමන් ආදරය කරපු බිරිඳයි දරුවයි දෙන්නම එක පාරටම වෙන් වුණාම දැනෙන හැඟීම මට හිතාගන්න පුළුවන්..පොඩි දෙයක් කියන්න තමයි මිස්ටර් ප්‍රදීප්ට අපි අද එන්න කිව්වේ..
මොකද්ද ඉන්ස්පෙක්ටර් ?
මිස්ටර් ප්‍රදීප් මේක අහලා කලබල වෙන්න එපා..අපි පරීක්ෂණ කටයුතු කරගෙන යනකොට අපිට එක තැනකදී ඔප්පු වෙලා තියෙනවා...ම්ම්ම්ම්...( ඉන්ස්පෙක්ටර් එක පාරටම කතාව නවතා ප්‍රදීප් දෙස එක එල්ලේ බලා සිටියි. )
මොකද්ද ඉන්ස්පෙක්ටර් ? මොකද්ද ? කියන්න..
අපිට ඔප්පු වෙලා තියෙනවා මේක මිනී මැරුමක් කියලා..
මො..මො..මොකක් ? මි..මි..මිනී මැ..මැ..මැරුමක් ?
( ප්‍රදීප්ට ඉහින් කණින් දහදිය ගලන්නට විය..)
ඔව් මේක සූක්ෂමව සිදු කළ මිනීමැරුමක්..
අනේ දෙවියනේ..මගේ අහිංසක දිස්නා..මගේ කිරිකැටි පුතා..මේ මොන අපරාදයක්ද ? කවුද මේක කරපු අවලම් බල්ලා ? මම ඕකව ඉතුරු කරන්නේ නෑ.. ( අත මිට මොළවා දෙතුන් වතාවක් ඉන්ස්පෙක්ටර්ගේ රාජකාරී මේසයට ගසමින් ප්‍රදීප් මහ හයියෙන් විලාප නගන්නට විය. )
කලබල වෙන්න එපා මිස්ටර් ප්‍රදීප්..කලබල වෙන්න එපා..අපි මිනීමරුවව හොයාගන්නවා..අනිවාර්‍යයෙන් හොයාගන්නවා..මිස්‍ටර් ප්‍රදීප් ඒ ගැන දුක් වෙන්න එපා.. අපිට මිනීමරුවව හොයාගන්න මිස්‍ටර් ප්‍රදීප්ගේ support එක ඕන..
මම ඕන දෙයක් කරන්නම් සර්.. ඕන දෙයක්.. 
මිස්ටර් ප්‍රදීප් සැකකරන කවුරුහරි ඉන්නවද ?
ඒත් සර් දිස්නට දන්න තරමින් එහෙම හතුරෙක් හිටියේ නෑ..හැබැයි..!!
ඇයි..ඇයි..? හැබැයි කියලා නැවැත්තුවේ ?
නෑ මට මතක් වුණා එක්කෙනෙක්ව..
කවුද ඒ ?
අපි බැන්ඳෙ ගිය අවුරුද්දේ ජූනී වල..බඳින්න ඉස්සෙල්ලා අපි අවුරුදු හතරක් ආදරය කළා.. ඒ කාලය ඇතුළත නිර්මාල් කියලා දිස්නා වැඩ කරපු ඔෆිස් එකේ කෙනෙක් දිස්නාගෙ පස්සෙන් කිහිප වතාවක් ඇවිත් කැමැත්ත අහලා තිබුණා..
ඉතින් ? ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ ?
දවසක් දිස්නගේ ඩ්‍රයිවර් එන්න පරක්කු වෙලා ඔෆිස් එකේ ඉන්නකොට දිස්නගේ අතින් අල්ලලා " අන්තිම වතාවට අහන්නේ ඔයා මට කැමතිද නැද්ද " කියලා අහලා තිබුණා.. දිස්නා ඒ වෙලාවේ හෑන්ඩ් බෑග් එකෙන් ගහලා තිබුණා ඒ මිනිහට.. ඊට පස්සේ ඒ මිනිහා කියලා තිබුණා මම උඹෙන් කවදාහරි පලිගන්නවා කියලා..
හා එහෙමද ?
ඔව් ඉන්ස්පෙක්ටර්.. ඊට පස්සේ මමයි මගේ යාළුවෝ දෙන්නෙකුයි ගිහින් මිනිහව කෙළින්ම මුණ ගැහුණා..එදා මිනිහා හොඳටම බය වුණා..
ඊට පස්සෙත් මිනිහා කරදර කරලා තිබුණද ?
ඔව්..මම ගෙදර නැති වෙලාවට ගෙදරට කෝල් කර කර දිස්නට තර්ජනය කරලා තිබුණා..
ඒ කියන්නේ දිස්නා වැඩට ගියේ නැද්ද ඒ වෙනකොට ?
අපි දෙන්නා බැන්ඳට පස්සේ එයා වැඩට යන එක නැවැත්තුවා..
හ්ම්ම්ම්.. හරි නිර්මාල් කියන හාදයාට අමතරව වෙන කවුරුවත් සැක කරන්න ඉන්නවද මිස්ටර් ප්‍රදීප්ට ?
ම්ම්ම්.. වෙන නම් කවුරුවත් නෑ..
හොඳයි මිස්ටර් ප්‍රදීප් එහෙනම් යන්න.. ඕන වුණොත් මම ආයෙමත් කතා කරන්නම්..
ඕකේ ඉන්ස්පෙක්ටර් !
හෙලෝ..හෙලෝ.. දක්ෂිණා..
ඔව් කියන්න ප්‍රදීප්..හෙලෝ..හෙලෝ..මට හරියට ඇහෙන්නේ නෑනේ..සිග්නල් නෑ වගේ..
හෙලෝ..හෙලෝ.. දැන් ඇහෙනවද ? වට්සප් නිසා වෙන්න ඇති.. මේ මාර කේස් එක..
ඇයි ඇයි ?
පොලිසියෙන් කියනවා ඒක මිනිමැරුමක්ලු..
ආහ්හ්හ්...මො..මො..මොකක් ? 
ඔව් දක්ෂිණා..
මගෙ පපුවත් ගැහෙනවා අනේ.. කොහොමද දැනගෙන තියෙන්නේ ? ගිනි අරගෙන අඟුරු වුණානේ..
ඒකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ..කොහොමද දැනගත්තේ කියලා..
අනේ මාව වෙවුලනවා..මොකද දැන් කරන්නේ ?
ඔයා බයවෙන්න එපා.. මම ගාණට කට උත්තරේ දීලා ආවේ..
මොනවද කිව්වේ ?
මම අර දිස්නගේ ඔෆිස් එකේ නිර්මාල්ට වැඩේ සෙට් කළා..
ආහ්හ්..අර දිස්නගේ පස්සෙන් ආපු බෝයිද ?
ඔව් ඔව්.. මිනිහා කම්මුතුයි දැන්.. අපි ගොඩ..හ් හ් හා..දැන් හිනාවෙලා ඉන්න ළමයෝ..
හිනාවෙන්න ? හිනා නෙවෙයි මට අඬන්න වෙන්නේ..
අයියෝ..බබා.. ඔයා බොරුවට බය වෙලානේ.. දැන් අපි ගැන කාටවත් සැක නෑ.. පොලිසියෙන් අරූට දෙක තුන ගහද්දි ඌට දිස්නව මැරුවා කියලම පිලිගන්න වෙයි..හ් හ් හා..
අම්මෝ ඔයාගේ මොළේ තමයි මොළේ..මේ බැංකුවෙන් සල්ලි ගන්න වැඩේ මොකද කරන්නේ ?
දැන්ම ගන්න හොඳ නෑ..මේක පොඩ්ඩක් ඉවර වෙනකම් ඉමු.. 
හ්ම්ම්ම්..ඒකත් ඇත්ත..
මිස්ටර් නිර්මාල් කියලා කෙනෙක් මෙහෙ වැඩ කරනවද ?
ඔව්.. දෙවනි තට්ටුවට යන්න සර්..
ඕකේ..තෑන්ක්ස්..
මිස්ටර් නිර්මාල් ?
ඔව් නිර්මාල් තමයි..
මම සාජන්ට් තුසිත..( ඔහුගේ පොලිස් අනන්‍යතා කාඩ්පත පෙන්වයි..)
ඔව් කියන්න සර්..
මිස්ටර් නිර්මාල්ගෙන් අපිට කට උත්තරයක් ගන්න තියෙනවා.. කරුණාකරලා අපිත් එක්ක දැන් පොලිසියට යන්න ලෑස්ති වෙන්න..
මො..මො..මොකටද ? මාව ගෙනියන්නේ මොකටද සර් ?
අපි ඒක පොලිසියට ගිහින් කතා කරමු..
සිල්වා..මේ මහත්තයාව ජීප් එකට එක්කගෙන යන්න..
හොඳයි සර්..හා..හා..දැන් යමු..
( පොලිස් ස්ථානයට ගොස් පොලිස් ස්ථානාධිපති හර්ෂ සිංහවංශ ඉදිරිපිට..)
මිස්ටර් නිර්මාල් නේද ?
ඔව්..ඔව්..සර්..ම..මම තමයි නිර්මාල්..නිර්මාල් හෙට්ටිආරච්චි..
මිස්ටර් නිර්මාල් දන්නවද ඇයි අපි ඔයාව මෙතනට ගෙනාවේ කියලා..?
සාජන්ට් මහත්තයා කිව්වා..ඒත් ඇයි මාව මෙතනට ඕන වෙන්නේ කියලා මට තේරෙන්නේ නෑ..
හරි..මම කියන්නම්.. දිස්නා සූරියබන්ඩාරව කොහොමද දන්නේ ?
දිස්නා..දිස්නා කියන්නේ අපේ ඔෆිස් එකේ මීට අවුරුද්දකට උඩදී වෙනකම් වැඩ කරපු කෙනෙක්..
මිස්ටර් නිර්මාල් අපිට ඇත්ත කියන්න ඕන.. බොරු කරලා වැඩ වරද්ද ගන්න එපා...තේරුණාද ?
අනේ ඇයි සර් මං බොරු කියන්නේ ? මම දන්න දෙයක් තියෙනවා නම් කියන්නම්..
දැන් තමා දන්නවද දිස්නා සූරියබන්ඩාර කියන තැනැත්තියත් ඇයගේ මාස දෙකක පුංචි පුතාත් මේ වෙනකොට මිය ගිහින් කියලා..
මොකක් ? දිස්නා මැරිලා ? ( නිර්මාල්ගේ නෙතගින් කඳුළු ගලා වැටෙන්නට විය. )
ඇයි තමා ඒක දන්නේ නැද්ද ?
ම..මම මේ සර් කියනකම් දන්නේ නෑ..ගිය සතියේ..
ඔව්..ඔව්..කියන්න..මොකද්ද ගිය සතියේ ?
ගිය සතියේ දවසක දිස්නා මට කතා කළා..
හ් හ් හා..සාජන්ට් කොහොමද වැඩේ ? මෙයා ගිය සතියෙත් කතා කරලා තර්ජනය කරලා..
ඒකනේ සර්..
මො..මොකද්ද ? තර්ජනය ? මේ මම ?
ඔව් තමුන් ගෙදරට නිතර නිතර කෝල් කර කර දිස්නා නැමැත්තියට තර්ජනය කරලා තියෙනවා කියලා චෝදනා තියෙනවා..
අනේ සර් මමත් දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්.. මට කාටවත් තර්ජනය කරන්න ඕන නෑ..
එහෙනම් මොකද්ද තමුන් කියන්න ගියේ "ගිය සතියේ" කියලා ?
සර්..මම ඇත්ත කියන්නම්..මේ අවුරුද්දේ මුල ඒ කියන්නේ ජනවාරි මාසේ දවසක දිස්නා මට කතා කළා ඔෆිස් එකට.. කතා කරලා මගේ මොබයිල් නම්බර් එක ඉල්ලගෙන මට කතා කළා..එදා ඉඳන් සතියකට සැරයක් දෙකක් මට කතා කළා..
ඒ කියන්නේ දෙන්නා අතර සම්බන්ධයක් තිබ්බා..?
අනේ නෑ සර්..මීට අවුරුදු තුනකට වගේ ඉස්සෙල්ලා දවසක නම් මම දිස්නට කිව්වා ඔයාට මම කැමතියි.. ඔයා මට කැමති නම් කියන්න කියලා..එයා ගත් කටටම කිව්වේ " නිර්මාල් මම අවුරුද්දකට විතර ඉස්සෙල්ලා affair එකක් පටන් ගත්තා " කියලා..
තමුන් ඊට පස්සේ දවසක දිස්නාගේ අතින් අල්ලලා hand bag පාරකුත් කෑවනේ ?
මේ මම ? කවුද සර් සර්ට ඔය බොරු කිව්වේ ? ජීවිතේට එහෙම වෙලා නෑ.. ඒ ළමයා එහෙම ගහනවා තියා මිනිහෙක්ට හිත රිදෙන්න වචනයක්වත් කියන්නෙ නෑ සර්..ඇත්තමයි..
( ස්ථානාධිපති හර්ෂ එතැන් සිට ඉතා ඕනෑකමින් නිර්මාල්ගේ කතාවට ඇහුම්කන් දුන්නේය. )
අන්තිමට දිස්නා කතා කරපු දවසේ මට මතක විධියට පැය භාගයකට වැඩිය කතා කළා..
ආහ්හ්.. එච්චර මොනවද කිව්වේ ? ඊට ඉස්සෙල්ලත් ඔච්චරටම කතා කරන්න මොනවද ඔය දෙන්නට තිබුණේ ?
මම කියන්නම් සර්.. දිස්නාගේ සැමියගේ ප්‍රශ්න තමයි..
මොනවා සැමියගේ ප්‍රශ්න ? මොනවද ඒ ?..කියමු බලන්න..
දිස්නගේ යාළුවෙක් ඉන්නවා පිලියන්දල..දවසක් ඒ යාළුවා දැකලා තියෙනවා දිස්නගේ සැමියා තව ගැහැණු ළමයෙක් එක්ක එයාගේ වාහනේ යනවා.. ඕක ඒ යාළුවා දිස්නට කියලා තියෙනවා.. මුලදි මුලදි දිස්නා ඕවා විශ්වාස කළේ නෑ. හැබැයි මට සිද්ධ වුණා එයාගේ ඒ විශ්වාසය බිඳින්න..
ඒ කියන්නේ ?
දිස්නා මගෙන් උදව් ඉල්ලුවා මේකේ ඇත්ත නැත්ත හොයන්න කියලා..මගේ මේ ඇස් දෙකෙන්ම ප්‍රදීප් සහ ඒ ගෑණු ළමයා හිටපු විධිය දැකපුවා මම දිස්නට කිව්වා..ඒ දවසේ ප්‍රදීප් මාව හඳුනාගත්තා..
ආහ්...දැන් මට පොටක් පෑදීගෙන එනවා මේක විසඳන්න..
ඇයි සර් ? ඒ කියන්නේ මං ගැන කියපු බොරු ඔක්කොම කිව්වේ ප්‍රදීප් එහෙනම් ?
හරි හරි තමුන් කියන්න හැමදේම..
මම මොන දේ කිව්වත් ඒ කිසිම දෙයක් දිස්නා ප්‍රදීප්ගෙන් ඇහුවේ නෑ.. එයා හිත හදාගෙන හිටියේ.. කිසිම වෙනසක් නොකර ප්‍රදීප් එක්ක හිටියා.. මට නිතරම කිව්වේ " එයාට හොඳ නම් මට ප්‍රශ්නයක් නෑ නිර්මාල්.. මම පව් කරන්න බයයි.. එයා කරන පව් එයා ගෙනියයි..අනිත් එක ඔය කිසිම දෙයක් මම තාම ඇස් දෙකෙන් දැකලා නෑනේ.."
ඇත්තටම පුදුම ගෑනියෙක් සර්..මම මගේ ජීවිත කාලයටම ඒ වගේ හිතන පතන බොසත් ගුණ තියෙන උත්තම කාන්තාවක් දැකලා නෑ..
ගිය සතියේ කතා කරලා මගෙන් ඇහුවෙම එයාගේ දේපළ, බැංකුවේ සල්ලි එයාගේ පුතාගේ නමට හරවන්න ඕන..ඒකට උදව් කරන්න කියලා..ඔච්චර තමයි මම දන්නේ සර්..
හොඳයි..හොඳයි..මිස්ටර් නිර්මාල්.. Thank you very for your valuable time..Please give us your mobile number as well.. සිල්වා..මිස්ටර් නිර්මාල්ගේ නොම්මරේ ඔහොමම සටහන් කර ගන්න..
අපි ආයෙත් ඕන වුණොත් මිස්ටර් නිර්මාල්ට කෝල් එකක් දෙන්නම්..
හරි සර්..කොහොමහරි මිනීමරුවව හොයාගන්න සර්.. පව් අහිංසක කෙල්ල..( නිර්මාල් දෙනෙත් කඳුළින් පුරවාගෙන )
හෙලෝ..මිස්ටර් ප්‍රදීප් නේද ?
ඔව් ඔව්..කවුද ?
මම ඉන්ස්පෙක්ටර් හර්ෂ සිංහවංශ..
ආහ්..ඔව්..ඔව්..සර් කියන්න..මොකක් හරි හෝඩුවාවක් ලැබුණද ?
ම්ම්ම්..ඔව්..පොඩි හෝඩුවාවක් ලැබුණා..මිස්ටර් ප්‍රදීප්ට හෙට උදෙන්ම පොලිසියට එන්න පුළුවන්ද ?
ඕකේ ඉන්ස්පෙක්ටර් !
සර්.. ඇයි දැන්ම එන්න නොකිව්වේ ? හෙට වෙනකම් කල් වැඩියි නේද ? 
පොඩ්ඩ්ක් ඉන්නවා... ඒක මම හිතලා කිව්වේ ? මට ඕන අර ගෑනිවත් එක්කම මූව අල්ල ගන්න.. සාජන්ට් දැන්ම යවනවා සිවිල් හතර දෙනෙක් ප්‍රදීප්ගේ ගෙවල් ගාවට. මිනිහා ගැන සෙවිල්ලෙන් ඉන්න කියනවා..සිල්වා තමුසේ මාත් එක්ක ඉන්නවා..තව WPC කෙනෙක්ටත් ලෑස්ති වෙන්න කියනවා..
හොඳයි සර්..
හෙලෝ..සර්..
ඔව් කියන්න වික්‍රමනායක..
සර්..මිනිහා මේ දැන් වාහනෙන් පිටත් වුණා..
Follow කරනවා මිනිහව.. සැක හිතෙන්නේ නැති විධියට..තේරුණානේ ? මාත් එනවා. මිනිහා යන්නේ කොහේටද කියලා මාව update කරන්න..
ඕකේ සර්..
සිල්වා ජීප් එක ලෑස්ති කරලා ගන්නවා..ඉක්මණට..
ඕකේ සර්..
හෙලෝ..දක්ෂිණා..
අම්මෝ අද දවසටම මට කතා කළේ නෑනේ ? මොකද තත්ත්වේ ?
මම මේ ඔයාව බලන්න එන ගමන්.. පිලියන්දල හන්ඳියේ ජූස් කඩේට එන්නකෝ මම කියන්නම් විස්තරේ...ඉන්ස්පෙක්ටරයා හොඳට ඇඳලා ඉන්නේ.. හ් හ් හා.. හෙට මට පොලිසියට එන්න කිව්වා හෝඩුවාවක් ලැබිලලු..හ් හ් හා..මෝඩයෝ..
එහෙනම් මම දැන් ගෙදරින් එන්නම්..
ඔව්..ඔව්.. එන්න මම පිටත් වෙලා ඉන්නේ..
සර්..මිනිහා පිලියන්දල පැත්තට යන්නේ..
හරි අපිත් ලඟ ඉන්නේ..
ඕකේ සර්..
කොහොමද පැටියෝ..හුඟ දවසකින් හම්බුණේ..( ප්‍රදීප් දක්ෂිණාව තදින් වැළඳගත්තේය.. )
ඒක තමයි බබා..මට ඔයා නැතුව ඉන්න බෑ..
අ...අ...( උගුර පාදමින් ) සමාවෙන්න දෙන්නට disturb කළාට..
අහ්..මෙ..මෙ..ඉන්ස්පෙක්ටර්නේ..මෙ..මෙතන..? ( ප්‍රදීප්ගේ දෑස් අදහාගත නොහැකි විය.. දක්ෂිණා භිරාන්තව බලා සිටියි. )
මිස්ටර් ප්‍රදීප්..කොහොමද ? හිතුවේ නෑ නේද අපි මෙහෙම හමුවෙයි කියලා..? මට ඕන වුණේ මේ අමුත්තියවත් දැක බලා ගන්න..
ආහ්..මේ..මේ දක්ෂිණා..මේ මගේ පොඩි කාලේ ඉඳන් යාළුවෙක්..දක්ෂිණා මේ ඉන්ස්පෙක්ටර් හර්ෂ..
ආහ්..ඇත්තද පොඩි කාලේ ඉඳන් ? Woow..Great.. දෙන්නා දිහා බැලුවාම නම් පේන්නේ අවුරුදු දහයකවත් gap එකක් තියෙනවා කියලා.. පොඩි කාලේ ඉඳන් යාළුවෙක් කිව්වේ නේද ? Good Good !
අපි පොලිසියට ගිහින් කතා කරමු..
ප්‍රදීප් එහෙනම් ම..ම..මම ගෙදර යනවා.. පරක්කු වුණා.. අම්මා බලාගෙන ඇති..
හෝ..හෝ..මැඩම්..මැඩම්ට දැන්ම ගෙදර යන්න බෑ. ඉස්සෙල්ලා අපිත් එක්ක පොලිසියට ගිහින් යමු..
ම..ම..මම මොකටද ?
ඒකනේ ඉන්ස්පෙක්ටර් දක්ෂිණා ඕන නෑනේ ?
WPC මෙයාව ජීප් එකට දාගන්න.. සිල්වා මෙයාවත් දාගන්න..
අනේ සර්..මම මේ කිසිම දේකට සම්බන්ධ නෑ සර්..
ආහ්..ඔය කියන්නේ..
කටවහපන් දක්ෂිණා..මෝඩියෙක් වගේ කෑ ගහන්නෙ නැතුව..
( මගදිගට දක්ෂිණා හඬා වැළපුණාය. සියළුදෙනාම පොලිස් ස්ථානයට පැමිණෙති. )
( ස්ථානාධිපතිවරයා තම හිස් වැස්ම ගලවා මේසේ උඩින් තබා..)
හොඳයි මිස්ටර් ප්‍රදීප්..දැන් කියමු බලන්න වැඩේ කොහොමද වුණේ කියලා..
මො..මොන වැඩේද සර් ?
තමුන් බබෙක් වෙන්න හදන්න එපා ප්‍රදීප්.. මම ගොඩක් ඉවසන මිනිහෙක්..මම හොඳින් අහන්න වගේම නරකින් අහන්නත් දන්නවා.. තමුන් පොලිසිය නොමග යවන්න හිතාගෙන කියපුවත්, ඇත්තත් අපි දන්නවා.. හ්ම්ම්..හ්ම්ම්.. දැන් කියනවා බලන්න..කොහොමද දිස්නව මැරුවේ ?
මම මැරුවේ නෑ සර්..
( ස්ථානාධිපතිවරයා ප්‍රදීප්ගේ ෂර්ට් කොලරයෙන් අල්ලා..)
ප්‍රදීප්.. තමුසේ මගේ යකා අවුස්ස ගන්න හදන්න එපා..සිල්වා මෙයාව දානවා කූඩුවට..
මොකද්ද තමාගේ නම කිව්වේ ? දක්ෂිණා...දක්ෂිණා නේද ?
අනේ ඔව් සර්..මාව නම් කූඩුවට දාන්න එපා සර්..
හරි එහෙනම් මුල ඉඳන් ඇත්ත කියනවා..
හ..හරි හරි මම කියන්නම් සර්..
දක්ෂිණා..තමුසේ මොනවත් දන්නේ නෑ.. මෝඩියෙක් වෙන්න එපා..( ප්‍රදීප් කූඩුවේ සිට කෑගසයි. )
හා..හා..කියනවා..කියනවා..
සර්..ප්‍රදීප්ව මම මුලින්ම දැනගන්නේ Facebook එකෙන්.. එයයි මායි අවුරුදු කිහිපයක් Chat කළා.. මගේ photos, videos මම එයත් එක්ක share කළා.. මගේ videos පෙන්න පෙන්න මුලින් මාව බය කළා.. පස්සේ පස්සේ අපි හැම සතියෙම වගේ කොහේ හරි රහසිගත තැනක කාමරයක මුණ ගැහුණා.. හැමදාම රෑට එයාට ඕන මගේ නිරුවත් ඇඟ video එකකින් බලන්න.. දන්නෙම නැතුව මාත් ඒකට ඇබ්බැහි වුණා..ඔහොම කාලය ගෙවිලා ගියා.. ප්‍රදීප් එයාගේ බිරිඳට ආදරය කරන එකට විරුද්ධ වෙන තරමට, ඒ බැඳීමට වෛර කරන තරමට මම එයාට ආදරය කරන්න පටන් ගත්තා..අනේ මට බැහැ දෙයියනේ..( දක්ෂිණා හඬන්න පටන් ගනී. )
නවත්තනවා අඬන එක..කියනවා කියනවා..
ප්‍රදීප් නිතර නිතර දිස්නගේ දේපළ ගැන, සල්ලි ගැන මාත් එක්ක කතා කළා.. ඔහොම කතා කරන ගමන් ඒ දේවල් අපේ කර ගන්න අපි සිහින මැව්වා..අපි සැලසුම් හැදුවා.. අන්තිමේ ඒ සැලසුම් වල එක දෙයක් තමයි දිස්නවයි, පුතාවයි මරණ එක.. ඊට එහා විසඳුමක් අපිට ආවේ නෑ..ප්‍රදීප් ඒකට පිඹුරුපත් හැදුවා..අවශ්‍ය දේවල් රැස් කළා..
( ස්ථානාධිපතිවරයා කතාවට බාධා කරමින්..) 
මොනවද අවශ්‍ය දේවල් ?
අවශ්‍ය දේවල් කියන්නේ...අනේ මට බෑ සර්...
කියනවා කියනවා..
මොනවද දක්ෂිණා උඹ ඔය කියන්නේ ? උඹ ඔක්කොම අවුල් කළා..( නැවත ප්‍රදීප් කෑ ගසයි..)
අපි මුලින්ම හිතුවා මේක සවාභාවික මරණයක් විධියට පේන්න කරන්න..ගිනි ගැනීමක් විධියට..පෙට්‍රල් ගත්තා..Gloves ගත්තා..ඒත් පණ පිටින් කෙනෙක්ව පුච්චනකොට වටපිටාවට කෑ ගහන එක ඇහෙන නිසා ඒකට සැලසුමක් හැදුවා..නිර්වින්දනය කරන්න හිතුවා..ඒත් අපි හිතපු විධියට ඒක කරන්න බැරි වුණා..
ඒ මොකද ?
මම කියන්නම් සර්..( හඬමින් )
එදා මහා වැස්සක්..අපි සැළසුම් කළෙත් වැහි දවසක්.. ප්‍රදීප් ගෙදර වැඩිපුර යතුරක් මේ වෙනුවෙන්ම කපාගෙන තිබුණා.. රෑ හතට විතර ප්‍රදීප් එක්ක මම ගෙදරට ඇතුළු වුණා..දිස්නා පොඩි පුතා එක්ක උඩු මහලේ නිදන කාමරයේ..අපි රෑ දහය වෙනකම් ගේ ඇතුළේ හැංඟිලා හිටියා..ප්‍රදීප් Main Switch එකෙන් කරන්ට් එක විසන්ධි කළා..මුළු ගෙදරම කළුවරයි..ඒ අස්සේ යාන්තමට අහෙනවා පොඩි පුතා හඬනවා..දිස්නා නැළවිලි ගීයක් ගයනවා..ප්‍රදීප් මගේ අතට අඩි එකහමාරක විතර යකඩ පොල්ලක් දුන්නා..අපි දෙන්නත් එක්ක තරප්පු පෙළ සද්දයක් නෑහෙන්න නැග්ගා..ප්‍රදීප් ඉස්සර වුණා.. නිදන කාමරයට ඇතුළු වුණා.. ඉටි පන්දම් එළියෙන් දිස්නාව යන්තම් පෙණුනා.. පුතාට නින්ද යන්න ඔන්න මෙන්න..ප්‍රදීප් සූදානම් කරගෙන ගිය නිර්වින්දන ඉන්ජෙක්ෂන් එක එකවරම දිස්නාගේ පිටට ගැහුවා. මහ හයියෙන් මර ලතෝනී දුන් දිස්නා මුලින්ම පුතාව ඇඳට පෙරලුවා..පුතා තිගැස්සී ඇහැරිලා අඬන්න පටන් ගත්තා..දිස්නා අපි දිහා හැරිලා බැලුවා. දිස්නා " ප්‍රදීප් " කියනවාත් සමඟ මගේ අතේ තිබූ යකඩ පොල්ල උදුරාගෙන ප්‍රදීප් දිස්නාගේ ඔළුවට වැරෙන් පහරක් ගැහුවා...දිස්නා ඔළුව බදාගෙන එක වරම බිම ඇදගෙන වැටුණා..
සර් මට වතුර ටිකක් දෙනවද ?
WPC මෙයාට වතුර එකක් දෙන්න..
( දක්ෂිණා උගුරට දෙකට වතුර වීදුරුවම බිව්වාය. )
ඊට පස්සේ මොකද කළේ ?
ඊට පස්සේ.. අපි දෙන්නත් එක්ක දිස්නව උස්සලා ඇඳට දැම්මා..පෙට්‍රල් කෑන් එක අරගෙන මුළු ඇඳටම දැම්මා.. බිම හැමතැනටම දැම්මා.. ප්‍රදීප් මගේ අතින් අල්ලගෙන " දැන් හරි..අපි එළියට යමු " කිව්වා.. දොරෙන් එළියට ගිහින් ගිනි පෙට්ටියෙන් ගිණි කූරක් අරගෙන ඇඳට විසි කළා.. ඒත් එක්කම අපි දුවලා පහලට ඇවිත් දොර ලොක් කරලා වාහනේ නැගලා ගියා..
එතකොට පොඩි එකා ?
පොඩි පුතා ඇඳේ තමයි හිටියේ සර්..( හඬමින් )
තොපිලව මරලත් මදි යකෝ..WPC දානවා මේකිවත් කූඩුවට..
( ස්ථානාධිපතිවරයා දැඩි කෝපයෙන් කෑ ගැසුවේය..)

Comments

Popular posts from this blog