රාත්‍රීයේ මැදියම් යාමයේ හදිසියේ මා දුටුවේ මා ඉදිරියේ දත් විලිස්සා ගත් භයානක යක්ෂයෙකි. අත් පා සොලවන්නට උත්සාහ කළත් නොහැකි වීමෙන් මා පත්වූයේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකටයි. කෑගසන්නට තැත් කළත් හඩක් පිටවූයේ නැහැ .කෙසේහෝ අවසන් මොහොතේ තදින් මා සොලවමින් ,

" වොට්සන් , වොට්සන් , මොකද මේ ? නැගිටින්න. නැගිටින්න ."

හෝම්ස් මා අසළ සිටියේ නිදන පිජාමා ඇදුම් පිටින්. ඔහුගේ කාරුණික ඇමතීමෙන් මා පියවි සිහිය ලැබුවා. ඊළඟට ඔහු මට දුන්නේ බ්‍රැන්ඩි වීදුරු බාගයක් .එය පානය කිරීමෙන් ඇගට ලැබුණේ නව ජීවයක් .සිදුවී තිබුණේ දවස මුලුල්ලේම යක්ෂයා පිළිබඳව කල්පනා කිරීමෙන් නින්දේදී මා සිහිනයෙන් යක්ෂයා දැකීම බව හෝම්ස් සිනාසෙමින් පැහැදිලි කළා .

උදේ වරුවේ අපේ සුපුරුදු පුවත්පත් බැලීම ආදිය කරමින් සිටියදී දුරකථන ඇමතුමක් ලැබුණේ සැම්සන් වින්ඩ්සර් තරුණයාගෙන් .නිවසේ සියලුම දෙනා හොදින් සිටින බව ඔහු දැනුම්දුන්නා .දහවල් ආහාරය ගැනීමෙන් අනතුරුව මා පොතක් කියවද්දී හෝම්ස් පිටත ගොස් පැමිනියේ පස්වරු 2.30 ට පමණයි .

සවස හෝම්ස් සමඟ මම ව්‍යායාම සදහා ඇවිදින්න ගියේ ගම්බද පළාතක් වූ අපගේ පරීක්ෂණයට අදාළ මන්දිරය අසළ මාවතක් දිගේ .සෙමින් අවට නරඹමින් ගමන් කරන අතර මම හෝම්ස් ගෙන් ඇසුවේ යක්ෂ දිෂ්ඨිය පිළිබඳව ඔහුගේ අදහස් මොනවාද කියලා .නමුත් ඔහුගේ පිළිතුර ඉතාම පුදුම සහගත එකක් වුණා .

" වොට්සන් , අපිට බැස්කර්විල් ගිහින් මුනගැහුනෙ විශාල බල්ලෙක්. නමුත් මෙහෙදි නම් බොහෝවිට හමුවෙන්න වෙන්නෙ මොකෙක්ද කියලා තාමත් හිතන්න බැහැ . වුවමනා දත්ත කිසිවක් ලැබුණේ නැතිව නිගමන වලට එන්න බැහැ .මම කැමතියි මේ අවට පරිසරය බලන්න .මන්දිරය වටා ගිහින් තොරතුරු ටිකක් රැස්කර ගැනීම අපිට බොහෝවිට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ."

අපි මන්දිරය වටා යද්දී අපිට පැහැදිලි වූයේ වත්තේ කෙළවරට කිට්ටුව ප්‍රපාතයක් තිබෙන බවයි . අඩි හැටකට නොඅඩු බෑවුමේ පහළින් අප ගමන් කළ මාවත වැටී තිබුණා .හෝම්ස් එහිදී විශේෂයෙන්ම අවදානය යොමු කළේ මන්දිරය පිහිටි ඉඩමේ සිට පහළට වතුර ගලා බසින දිය අගලක් වෙතයි . වැසි නොමැති කාළයට නැතත් වැසි කාළයේ විශාල ජල ධාරාවක් ගලා බසින බවට සළකුණු තිබුණා .නමුත් හෝම්ස් මා සමඟ ඉදිරියට ගියේ තවදුරටත් ගම්මානය පිළිබඳව වැටහීමක් ලබා ගන්නා අදහසින් බව මම විශ්වාස කළා .සැන්දෑවක අසිරිය විදිමින් ගමන් කළ අපිට කුඩා ගැමි තේ කඩයක් දකින්නට ලැබුණා . එහි ඇතුලට ගොස් හෝම්ස් බැලුවේ ආහාර සදහා යමක් සූදානම් කර තිබෙනවාද යන්නයි .
" සුබ සැන්දෑවක් මහත්මයා , මොනවාද අපිට කෑමට ගන්න තියෙන්නෙ ?"
 " උණු උණු කට්ලට් ටිකක් විනාඩි 10 කින් දෙන්න පුළුවන් මහත්මයා , වුවමනා නම් කළුකුම් පලුවක් රෝස්ට් කරන්න වුණත් බැරි නැහැ ",
එහෙම උත්තර දුන්නේ අවුරුදු 65 ක් පමණ වයසැති ගැමි පෙනුමක් තියෙන උස මහත තැනැත්තෙක් වූ කඩේ හිමිකරුවා යි.

" අපිට කට්ලට් 8 ක් සමඟ කළුකුම් පලුවක් රෝස්ට් කරන්න ."
 හෝම්ස් කිව්වා .

අපි සාමාන්‍යයෙන් යාලුවො කතා කරන විදියට කතා කරමින් සිටියේ හෝම්ස් ඔහුගේ පයීප්පය දල්වාගෙන .

"මුදලාලි , මේ පාර කෙළවර වෙන්නෙ කොහෙන්ද ?"
 හෝම්ස් ඔහුගේ සුපුරුදු මුදු මොලොක් හඩින් ඇහුවා .

" ඔහොම ඉස්සරහට යද්දී හමුවෙන්නෙ  Y හන්දිය . එතැනින් දකුණට හැරුනොත් ආපසු යන්න පුළුවන් චාරිංක්‍රොස් ටවුමට . වම් පැත්තට යොමු වෙන්න තියෙන්නෙ සොහොනක් .ඒක පහුවෙනතුරු ගියොත් තියෙනවා ගම්මානය . කුඹුරු යායක් ,ලස්සන ගගක් එහෙම බලන්න පුළුවන් .එළවළු වගාබිම් ඕනෑ තරම් තියෙනවා ., මේ මහත්වරු කොහෙද ?"

" අපිට හිතුනා ටිකක් ගම්බද ඇවිදින්න .සංචාරය කරන්න හොඳ පළාතක් නිසා මේ පැත්තට හැරුණේ ."

" අපිට නම් කලාතුරකින් තමා එහෙම අය දකින්නට ලැබෙන්නේ .දැන් වෙළදාම් වුණත් බොහොම නිසරුයි මහත්මයා ."

" සොහොන් පිටියේ හොල්මන් එහෙම තියෙනවාද ?"
එහෙම ඇහුවෙ මම .

"ඉස්සර බොහොම දරුනු විදියට හොල්මන් තිබුණා .මට මතක තියෙනවා අවුරුදු 30 කට විතර කළින් කෙනෙක් සොහොන් පිටිය ළඟ මැරිලා තිබුණේ නහයෙන් කටින් ලේ පෙරාගෙන. ඊට පස්සෙ වුණත් සැරෙන් සැරේ මිනිස්සු බය වුණා . හැබැයි හොඳ ඇදුරෙක් ඉන්නවා ගමේ කෙළවරට කිට්ටුව .එයාගෙ ගුරුකම් වලින් සනීප වෙනවා . ඊයේ රෑ හාමු මහත්මය බයවෙලා කියලා ආරංචියක් තියෙනවා .එතුමාට නම් දොස්තර මහත්මය බෙහෙත් දුන්නාම සනීප වෙලා තියෙන්නෙ ."

" කවුද හාමු මහත්මය කියන්නේ ?"

"ඇයි , මහත්මයා පළාතෙම ඉන්න හොදම වැදගතා එතුමා තමා .පාර්ලිමේන්තුවේ කථානායක තුමා . එතුමා ඉන්නෙ මේ ළඟමයි .එද්දී දකින්නට ඇති ලොකු මන්දිරයක් .යකඩ ගේට්ටුවක් තියෙන්නෙ පාර අද්දරටම වෙන්න .ඒක තමා එතුමාගෙ බංගලාව .පුතෙක් ඉන්නවා මැණිකක් වගේ .කඩේට එනවා ඉදහිට . එතොත් එන්නේ මොනවා හරි අරගෙන අපිට දෙන්න .අඩුගානේ වත්තේ තියෙන පළතුරු ගෙඩියක් හරි ගේනවා . ඊට පස්සෙ සල්ලි දීලා උවමනා දෙයක් අරගෙන යනවා. සීයා ,ආත්තම්ම කියලා මටයි හාමිනේ ටයි කතා කරන්නේ .එහෙම දරුවෙක් දකින්නට වාසනාව තියෙන්න ඕනෑ . මෙන්න මහත්වරුණි කෑම සූදානම් ."

" අපිට දැන් ලෙමනේඩ් වීදුරු දෙකක් ඕනෑ . ඊළඟට කෝපි පෝච්චියක් හදන්න."
හෝම්ස් ඇනවුම් කළා .
ඉතාමත් රසවත් කෑම වේලක් ලැබීම අපිට ලැබුණ අමතර වාසියක් .කෑමෙන් පස්සෙ ඔවුන්ට සුබ සැන්දෑවක් පතමින් අපි පාර දිගේ ඇවිදගෙන ගියා .සොහොන් පිටියේ සළකුණු පෙන්නන්න තිබුණා .මම හිතුවෙ හෝම්ස් ඒක බලන්න යාවි කියලා .නමුත් හෝම්ස් ආපසු හැරුණේ රෑ වෙන්න පෙර බේකර් වීදියට යන්න ඕනෑ කියමින් . දුම්‍ රිය පොළෙන් අපිට යාමට දුම්‍ රියක් ලැබුණා . රාත්‍රී 7.00 ට කාමරයෙ සුපුරුදුඅසුන් මත අපි ගිනි උදුනට සමීපව සුවසේ පසුවෙද්දී අශ්ව කරත්තයකින් නැගෙන හඩක් සහ එය අපේ දොර අසළ නතර වෙනවා ඇසුනා .හඩ්සන් මහත්මිය දොර ඇරිය ශබ්දය දෙස හෝම්ස් ඇහුම්කන්දුන් බව මම දුටුවා .
ඊළඟට ඇසුනේ තරප්පු පෙළ නගින කෙනෙකුගේ අඩි සද්දයක් .
" පොලිසියෙ ලෙස්ට්‍රෙඩ් මහත්මයා  එන්නේ. වොට්සන් , දකින්නට කළින් කියන්න පුළුවන් ලෙස්ට්‍රෙඩ් බව ".


අපගේ පුදුමයට හේතු වූයේ හොප්කින්ස්ගේ පැමිණීමයි . උදේ අපේ ආහාර ගැනීමටත් කළින් ඔහුගේ පැමිණීම සාමාන්‍යයෙන් සිදු නොවන්නක් .

" හොප්කින්ස් , ඔබට සුබ දවසක් , මම දකින්නේ රාත්‍රීයෙන් බාගයක් විතර එළිමහනේ රාජකාරියක නිරතව ඉදලා ඔබ පැමිණී බවත් බොහෝවිට ඔබේ රාජකාරි කටයුතු චාරිංක්‍රොස් පිටරවුම් පාරේ කනත්ත අසළ ප්‍රදේශයේ සිදුකළ බවත් ."

" දෙවියන්ගේ නාමයෙන් මට කියන්න හෝම්ස් , කොහොමද ඔබ දන්නේ මම ඒ ප්‍රදේශයේ ඉදලා ආවේ කියලා ? තාමත් පත්තර වලින් කිසිම තොරතුරක් පළකරලා නැහැ . පාන්දර 3.00 ට පමණ තමා පොලිසියට දැනගන්නට ලැබුණේ මේ අපරාධය පිළිබඳව. මම වහාම එතැනට ගියා . පත්තර ඔක්කොම ඒ වෙලාවට අච්චු ගහලා ඉවරයි . ඉතිං කොහොමද ඔබ දන්නේ මම කොහෙද රාජකාරි කළේ කියලා ?"

" නිදිමත වෑහෙන ඔබේ ඇස් වලින් මට කියන්න පුළුවන් රාත්‍රීයේ පූර්ණ නින්දක් නොලැබූ බව ,ඊට අමතරව ඔබේ සපත්තු අඩියෙ ඉහළින්  සුදුපාට කිරිමැටි ගෑවිලා තියෙනවා . මම ලන්ඩනයේ කොහේවත් එහෙම කිරිමැටි දැකලා නැහැ චාරිංක්‍රොස් පිටරවුම් පාරේ කනත්ත කිට්ටුව හැරෙන්නට . ඔබේ අශ්වයෝ ගොඩක් වෙහෙසිලා නැහැ . එහෙම නම් ඔබ බොහොම ඈත ඉදලා නොවෙයි ඇවිල්ලා තියෙන්නෙ . මේ කරුණු ඔක්කොම එකතු කළොත් මට කියන්න පුළුවන් ඔබේ පරීක්ෂණ සිදුවෙලා තියෙන්නෙ චාරිංක්‍රොස් පිටරවුම් පාරේ කනත්ත අසළ බව ."

" මම නම් හිතන්නේ ඔබට පොලිසියෙන් රහසේම තොරතුරු සපයන කිසිවෙක් ඉන්නවා වෙන්න ඕනෑ කියලා . මේ ඔක්කොම මා දිහා බලාගෙන කිව්වා වෙන්න බැහැ ".

" ඔබේ පොලිසිය ඔබට අවිශ්වාස නම් ඒක වෙනමම කාරණයක් . හැබැයි මම කෙනෙක් දිහා බලන්නේ සුලු හෝඩුවාවක් වුණත් මනසින් විග්‍රහ කරමින් . ඔබේ මුහුණ දිහා හොදින් බැලුවම මට කියන්න පුළුවන් ඔබේ පරීක්ෂණය ලේ වැගිරීමක් සහිත බිහිසුණු එකක් බව . ඔබ පොලිස් නිලධාරීයෙක් වුණත් ලේ වැගිරීම් දකින්නට ඔබ දක්වන අසාත්මිකතාවෙන් ඔබේ මුහුණ තවමත් අප්‍රසන්න දෙයක් දැකීමෙන් ඇතිවන හැගීම් පිළිබිඹු කරනවා හොප්කින්ස් .ඒ ඔක්කොම පැත්තකින් තියලා ආපු කාරණය ගැන කියන්න."

" හෝම්ස් මහත්මයා , ඊයේ රෑ 1.45 ට ,ඒ කියන්නේ අද පාන්දර කෙනෙක් පොලිසියට දැන්නුවා බිහිසුණු ලෙස මරාදැමු මිනිසෙක් ගැන . ඔහුගේ පැමිනිල්ල අනුව රාත්‍රීයේ භයානක කෑගැසීමකින් පලාතම දෙදරුම් දීලා තියෙනවා . කිහිප දෙනෙක් කෑගැසීම ඇසුන පැත්තට ඇවිල්ලා තියෙන්නෙ පන්දම් පත්තුකරගෙනයි. එක් කෙනෙක් අතේ පමණක් විදුලි පන්දමක් තිබුණලු. ඔවුන් ඇවිල්ලා බලද්දී අසරණ මනුස්සයෙක් ඔලුවට සිදුවූ බරපතළ තුවාල සහිතව පාරේ වැටිලා සිටි බව පොලිසියට දැනුම්දුන්නා . මම හිටියෙ බැරක්කයේ වුණත් වහාම මට පැමිණෙන්නට පණිවිඩයක් ලැබුණේ නින්දට ගිහින් පැයකින් විතර . මම වහාම සිද්දිය වූ තැනට ගියේ තවත් පොලිස් නිලධාරීන් දෙන්නෙක් එක්ක . ඔවුන් තවමත් එහි රැදී සිටිනවා . මේක විසදීමට අපේ පොලිසියට අපහසු බවට මම සැක කරනවා .හෝම්ස්  මහත්මයා , ඔබේ උපදෙස් ලබාගන්නට පැමිණියේ මගේ පුද්ගලික අදහස අනුවයි .".

" එහෙම නම් ,විනාඩි 15 ක් ඉන්න .පත්තර ඔක්කොම තියෙනවා බලන්න පුළුවන් . වොට්සන් සහ මම සූදානම් වනතෙක් ඔබේ මනස සන්සුන් කරගන්න ."

විනාඩි 15 කින් හෝම්ස් සමඟ මම සූදානම් වුණා .හොප්කින්ස් පැමිණි රථයෙන් අපිට නැවතත් චාරිංක්‍රොස් පිටරවුම් පාරේ කනත්ත අසළට ළගාවෙන්නට ගතවූයේ පැයකට ආසන්න කාළයක් .

 හොප්කින්ස් අශ්ව කරත්තයේ රියදුරුට රථය නතර කරන්නට සංඥා කළා . සියලුම දෙනා රථයෙන් බිමට බැසීමෙන් අනතුරුව රැස්වී සිටි අසල්වැසියන් අතරින් අපිට දකින්නට ලැබුණේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අසළ  බිම වැටීසිටි දුප්පත්කම නිසා බොහෝ පැරණි කඩමාළු වුණ ඇදුමක් ඇදගත් අවුරුදු 40 ක් පමණ වයසැති කෙසග අඩි හයක් පමණ උස හිසේ මුදුනේ තට්ටය පෑදුණු අව්වෙන් අවපැහැයට හැරුණු තැනැත්තෙක් . ඔහුගේ හිසට බර ආයුධයකින් පහරදී ඇති බව පෙනෙන්නට තිබුණා . හෝම්ස් එතැනට ළංවී හොදින් පරීක්ෂා කළා. මුනින් අතට වැටී සිටි ඔහුගේ සිරුර හෝම්ස් අනිත් පැත්තට හැරෙව්වා .මුහුණ විරූපී වෙලා තිබුණේ යම්කිසි භීතියකට පත්වූ කෙනෙක් වගෙයි . නැවත හෝම්ස් හිසෙහි තුවාලය පරීක්ෂා කළා .අවසානයේ හෝම්ස් ඔහුගේ අත් කාචයෙන් තුවාලය පරීක්ෂා කළා .ඔහුගේ දෙනෙත් දීප්තිමත් ලෙස ආලෝකමත් වුණා .යළිත් සිරුරේ ඇදුම් පවා විවර කරමින් හොදින් බැලුවා . හෝම්ස් ඉන්පසුව හොප්කින්ස්ට කතා කළා .

" හොප්කින්ස් , දැන් මිනිය මෝචරියට යවන්න . මළසිරුර පිළිබඳව මගේ පරීක්ෂාව අවසන් . ඔබට පුළුවන් ඔබේ කටයුතු පිළිබඳව කැමති ආකාරයෙන් කටයුතු කරන්න .මා අවට පරිසරය පරීක්ෂා කරන්න ඕනෑ ."

හෝම්ස් ඉතාමත් සෙමින් පාරේ ඇවිදගෙන ගියා . නමුත් මිනිස්සු බොහෝදෙනෙක් ඇවිදීම හේතුවෙන් එහි දකින්නට කිසිවක් තිබේදැයි මම පුදුම වුණා . හෝම්ස් තුළින් මා දුටුවේ ඉව ඔස්සේ දුවන ෆොක්ස් හවුන්ඩ් වරගයේ සුනඛයන් වෙතින් දකින්නට ලැබන විදිහේ ස්වරූපයක් . ඔහු පාරෙන් ඉවතට ගොස් ඉතාමත් පරෙස්සමින් බිම වාඩිවී යමක් පරීක්ෂා කළා . මා ළඟට ගොස් බැලූවිට දුටුවේ ඔහු ලේ තැවරුණු ගලක් පරීක්ෂා කරන බවයි .



හෝම්ස් ,විනාඩි පහක් පමණ ඒ ගල් ගෙඩිය දෙස බලා සිටියා .ඉන්පසුව අසළ ගසකින් පළල් කොළයක් කඩාගෙන එය භාවිතා කරමින් ඔහුගේ ඇගිලි නොගෑවෙන ලෙස එය අතට ගත්තේ හොදින් පරීක්ෂා කිරීමටයි . හොප්කින්ස් එතැනට පැමිණියේ එවිටයි .

"හෝම්ස් මහත්මය මොකද ගල් ඇහිදින්නේ ?"

" හොප්කින්ස් , මේක විශේෂයෙන්ම වැදගත් එකක් . බලන්න ,මේකෙ තියෙනවා ලේ තැවරිලා. අපරාධයට යොදාගෙන තියෙන්නෙ මේ ගල බව පැහැදිලිවම කියන්න පුළුවන් . මේ ගලේ හැඩය හරියටම ගැලපෙනවා හිසේ තුවාලයට . ඒක තමා මම හෙව්වේ . අපරාධය සිදුකළ තැනැත්තා පිළිබඳව කියන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා . මේකෙන් දමාගැසීමක් සිදුවෙලා නැහැ . ඔහු වමත හුරු කෙනෙක් විය යුතුයි .පහර එල්ල කරලා තියෙන්නෙ අසරණයා හිටගෙන සිටිද්දී විය යුතුයි . බොහෝවිට ඔහුගේ උස අඩි හයක් හෝ ඊට වඩා වැඩියි . නැත්නම් හිසට මෙසේ පහර දෙන්නට නොහැකියි ."

" ඔබ කොහොමද කියන්නේ අසරණයා හිටගෙන සිටිද්දී ගලෙන් පහර දුන්බව ? ඔහු බිම වැටුනාට පසුව පහර දුන්නා වෙන්න පුළුවන් ."

" හොප්කින්ස් ,මම ඔබ ගැන ලොකු බලාපොරොත්තු තියලා තියෙනවා .ඔබේ දස්කම් මා දුටුවේ The adventure of Vesteria lodge පරීක්ෂණය කරද්දී . මා එහිදී ගසක් මුල සිටිමින් යමක් නිරීක්ෂණය කරද්දී ඔබ ගසේ ඉහළ අත්තක සිටගෙන නිරීක්ෂණය කළා මට මතක තියෙනවා . නමුත් ඔබේ හැකියාවන් යොදාගෙන නැහැ මෙහිදී .
බලන්න , මිය ගිය තැනැත්තාගේ කමිසයේ පිටුපස පැත්තේ ලේ බිංදු කීපයක් දකින්නට ලැබුණා . ඒවා වැටෙන්න පුළුවන් හිටගෙන සිටිද්දී විතරයි . නමුත් ඔහු ක්ෂණයකින් බිම වැටිලා තියෙනවා . හරක් රංචුවක් ගියා වගේ පාරේ මිනිස්සු සියයකට වැඩිය ඇව්දලා නැත්නම් තොරතුරු කොපමණ සටහන් වෙලා තියෙන්න ඇද්ද ? ඔබට තිබුණා මීට වඩා සැළකිලිමත් වෙන්න .මගේ පැමිණීම වනතෙක් මාරගය වෙනත් අයගේ අඩි සළකුණු නැතිව තිබුණා නම් කොපමණ අගෙයිද ? නමුත් දැන් ඒවා ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ . ඔබේ භාරයේ මේ පාෂාණය තබාගන්න . මම වොට්සන් සමඟ ඉදිරියට යනවා . මියගිය පුද්ගලයා හදුනා ගන්න පුළුවන් තොරතුරු දන්නේ කව්දැයි සොයා බලන්න ."

හෝම්ස් ගල් ගෙඩිය හොප්කින්ස් අතට දුන්නා .හොප්කින්ස්ට දැනුනේ ලැජ්ජාවක් බව පැහැදිලිවම පෙනෙන්න තිබුණා .

හෝම්ස් සහ මම ඉදිරියට ගමන් කළේ අවට ඉතාමත් හොදින් නිරීක්ෂණය කරමින් . මට ඇසුනේ හෝම්ස් නිකුත්කළ සිවුරුහන් හඩක් .නමුත් පෙන්නන්න කිසිම හෝඩුවාවක් මම දුටුවේ නැහැ. මම ඔහු දෙස බැලුවත් දෙනෙතෙහි දීප්තිමත් භාවය හැරෙන්නට  ඔහුගේ වෙනසක් දකින්නට ලැබුණේ නැහැ . තවත් ඉදිරියට යද්දී හෝම්ස් මට පෙන්නුවේ පාදයේ ඉදිරි කොටසේ පමණක් සටහන් තිබෙන පාසටහ්න් කීපයක් . ඒවා හොදින් පරීක්ෂා කරද්දී අපිට වඩාත් පළල් අඩි සළකුණු සහ පටු අඩි සළකුණු වශයෙන් වෙන්කර හඳුනා ගන්න පුළුවන් වුණා .

" වොට්සන් , කෙනෙකු පස්සෙන් තවත් කෙනෙක් ලුහුබැදගෙන් දුවලා තියෙනවා . ඒවා ආරම්භ වෙන්නෙ කොහෙන්දැයි බලන්න ඕනෑ .යමු තවත් ඉදිරියට ."

" හෝම්ස් , මිනිස්සු මේ හරියේ වැඩිපුරම ගැවසී නැහැ .ඒකෙන් මේවා මැකිලා නොගිහින් තාමත් බලන්න පුළුවන් කම තියෙනවා .ඔබේ දූරදර්ශි බව නොතිබුණා නම් කවදාවත් මේවා අනාවරණය වෙන්නෙ නැහැ ."

" වොට්සන් , අවුරුදු 18 ක් තිස්සේ අනභිභවනීය නාමයක් රැකගැනීම ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි . කිසි විටෙකත් අධයිරියට පත් නොවීම මගේ සිරිතක් .තවදුරටත් පරීක්ෂා කරන්න දේවල් තිබුණත් මම හිතන්නේ දැන් බේකර් වීදියට ගිහින් කෑම කාලා පසුව තීරණයක් ගැනීම හොඳයි . උදේ අපේ කෑම වේලත් මගහැරුනා. හොප්කින්ස් තවදුරටත් රැදී සිටිනවා කියලා මම හිතන්නේ නැහැ . ඔහුගේ රථයෙන් යන්න පුළුවන් වෙයි ."

අපි ආපසු පැමිණෙන විටත් හොප්කින්ස් ආපසු යාමට සූදානම් වී සිටියා. මළසිරුර සමඟ පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිසියට ගොස් තිබීමෙන් රථයේ අපිට පහසුවෙන් යාමට ඉඩකඩ ලැබුණා. අපගේ කථානායක තුමා පිළිබඳව සොයා බලන්නට හෝම්ස් කැමැත්තෙන් හොප්කින්ස්ට දැනුම් දුන්නේ ඒ මණ්දිරය අසළ අශ්ව කරත්තය නතර කරන්නටයි .
අපි එතුමාගේ මණ්දිරයට ඇතුලුවෙද්දීම සැම්සන් වින්ඩ්සර් තරුණයා ආලින්දයේ සිට අපිට සුබ පතමින් ඉදිරියට ආවා .ඔහුගේ සුන්දර ආදරණීය සිනාවෙන් ඔහුගේ කෘතඥතාව පැහැදිලිවම දකින්නට ලැබුණා .

" සුබ දවසක් ,හෝම්ස්මහත්මයා . මම උදේ ඔබතුමා අමතන්නට බොහොම උත්සාහ කළා . නමුත් ටෙලිෆෝනයෙන් ඇසුනේ සීනුවේ හඩ පමණයි .කිසිවෙක් පිළිතුරක් දුන්නේ නැහැ ."

 "ඔබටත් සුබ දවසක් දරුවෝ. අද හඩ්සන් නෝන බොහෝවිට නිවසේ නැතිව ඇති . ඉරිදා පල්ලියට යාම ඇයගේ සිරිතක් . ඉතිං කොහොමද ඔබේ පියාගේ සැප සනිප ?"

" තාත්තා උදේ පාර්ලිමේන්තුවේ සැසිවාරයට ගියා . හොදින් සනීපෙන් ඉන්නවා . පොඩ්ඩක් ඉන්න . මම එනවා විනාඩියෙන්."

සැම්සන් වින්ඩ්සර් තරුණයා නිවසේ ඇතුලට ගිහින් විනාඩියෙන් ආපසු පැමිණීයා . ඔහුගේ මුහුණ ප්‍රීතියෙන් ආලෝකමත්ව තිබුණා .

" මම බෙත් නැන්දාට කිව්වා හෝම්ස්මහත්මයා පැමිණියා ,ඉක්මනින් කෑම සූදානම් කරන්න ඕනෑ කියලා . කරුණාකරල අපේ සංග්‍රහය පිළිගන්න ඔබතුමා සහ වොට්සන් මහත්මයා කැමති වෙන්න ඕනෑ ."

" මේක නම් දරුවෝ ඕනෑවටත් වඩා ඔබේ පුදුම   හැසිරීම සහ සිරිත් . එංගලන්තය කියන්නේ පෙරදිග සිරිත් තිබෙන රටක් නොවෙයි . සාමාන්‍යයෙන් කෙනෙකුට කෑමකට ආරාධනා නැත්නම්  කෑම සපයන්නෙ නැහැ අපේ රටේ මිනිස්සු . නමුත් ඔබ අපේ පැමිණීමෙන් ඉතාමත් සුලු වෙලාවක් ඇතුලත කෑම සූදානම් කරන්න ඇනවුම් කරලා ."

" හෝම්ස් මහත්මයා , ඔබතුමා උදේ පොලිස් අශ්ව කරත්තයෙන් පහළට යනවා මම දැක්කා .අනිවාර්යයෙන් කනත්ත අසළ මිනිමැරුම පරීක්ෂා කරන්න විය යුතුයි . ඔබට කෑම ගන්නට සුදුසු  අවන්හලක් ඒ අසළ නැහැ .ඉතිං මම ඔබට ආරාධනා කරනවා අපේ නිවසෙන් ආහාර ගන්න ."

" ඒක එහෙම නම් , ඔබේ ආරාධනය ඉතාමත් ස්තුතිපූර්වකව පිළිගන්න වෙනවා . නමුත් මේ අයුරින් සංග්‍රහයන් නැවතත් සූදානම් කරන්නේ නැත්නම් වඩාත් සතුටු වෙනවා. අලුතින් කියන්නට ඔබට තොරතුරු තිබෙනවාද ?"

" ඔබතුමන්ගේ උපදෙස් අනුව හැමදාම නිවසේ සියලුම දෙනා රාත්‍රීයට නින්දට ගියේ එක්කෙනෙක් ආරක්ෂකයෙක් හැටියට සිටිද්දී . නිතරම රිවෝල්වර දෙකක් සූදානමින් තියෙනවා . නැවතත් කිසිම සද්දයක් හෝ වෙනසක් දැනගන්නට නැහැ ."

" අද මියගිය පුද්ගලයා ඔබ දන්නා කෙනෙක් ද ?

" මම ඔහුව දැකලා තියෙනවා . සමහර දාට අපේ ගේට්ටුව ළඟ ඉදලා කෑමට යමක් ඉල්ලාගෙන යනවා .තාත්තා බොහෝවිට ඔහුට කෑම දෙනවා .අපිට කියලා තියෙනවා ඔහුට කෑම දෙන්න කියලා ."

" ඊට වඩා ඔහු ගැන ඔබ තොරතුරු දන්නේ නැද්ද ?"

" බොහොම ඉස්සර ඔහු අපේ වත්තේ වැඩ කරලා තියෙනවා . නමුත් යම්කිසි හේතුවක් නිසා ඔහුට සිහි කල්පනාවක් නැතිව ගිහින් තමා තැනින් තැන ඇවිදිමින් ඉල්ලාගෙන කමින් ඉදලා තියෙන්නෙ . ඔහුගේ නම ඔලිවර් බවත් තාත්තා කියලා තියෙනවා .හැබැයි බොහොම දුර පළාතක කෙනෙක් .ඔහුගේ ගම නිව් කාස්ල් පළාතේ වෙන්න ඕනෑ ."

මේ වෙලාවෙ ලස්සන තරුණියක් පැමිණ කෑම සූදානම් බව දැනුම්දුන්නා .

සැම්සන් වින්ඩ්සර් මහත්මයා අපිට ඉතාමත් සුහදශීලී ලෙස ආරාධනා කළේ කෑම ගැනීමට පැමිණෙන ලෙසයි .

හෝම්ස් සහ මම ඔහුත් සමඟ මණ්දිරය තුළ සුඛෝපභෝගි කෑම ශාලාවකට ඇතුලු වුණා . විනාඩි 20 ක් ඇතුලත වුවත් විශේෂයෙන්ම හොඳ කෑම වේලක් සූදානම් කර තිබුණා . මා ඉතාමත් ප්‍රිය කරන කළුකුම් මස් ස්ටුවක් සහ තවත් රසවත් කෑම වර්ග කීපයක්, සැන්ඩ්විච් , පාන් පෙති , සහ තැම්බූ මුංඇට එහි තිබුණා .
       
                                     Auther - සොලමන් පෙරේරා
                                                             

Comments

Popular posts from this blog