කෙටිකතාවකි.
ආකිරිකන්දේ වීරසේන
"සර් පොඩි අවුලක් මං ඇතුළට එන්නද? "
දොරටුව අබියස සිට මා ඇමතූ මාගේ සහකර පර්යේක්ෂකවරයාගේ හඬ තරමක් වෙනස් වී ඇති බැව් මට දැනුණි.
"ඔව් සේනක එන්න එන්න…. "
මම කියවමින් සිටි පොත පසෙක තබමින් ඔහුට ඇතුළට එන ලෙස ආරාධනා කළෙමි.
"සර් අපි 'වීරසේන'හොයාගත්තට පස්සෙ මෙන්න ඒක දැකලා පිස්සෙක් ඇවිල්ල 'වීරසේන' එයාය කියලා....."
ඇත්තෙන්ම ඔහු පැවසූ විලාසය අනුව මට කිසිත් හරිහැටි වටහාගත නොහැකි විය.
"එයා කොහොමද 'වීරසේන' වෙන්නෙ?.. අයියෝ මොන පිස්සෙක්ද අපේ වැඩට බාධා කරන්න එන්නෙ.. මං මුල ඉඳලම කිව්වා මීඩියා වලට දැන්මම දන්නන්න එපා කියලා.. ඒත් කොහෙද ඉතින් දැන් මොකද වෙලා තියෙන්නෙ? "
"අපි පොලීසියට කිව්ව සර්... පොලීසිය මිනිහව පිස්සන් කොටුවට බාර දීලා හැබයි සර් ව හම්බවෙනකන් මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ කියනවලු.. මිනිහ ජීවිතේ නැති කරගන්නවයි කියනවලු... ඒ මිනිහලු 'ආකිරිකන්දෙ වීරසේන' සර්ට විස්තරේ කියන්න ඕනෙ කියනවලු ඉතින් සර් දැන් පොලීසියෙන් තමා කිව්වෙ සර්ට ටිකක් ගිහිල්ල ඒ පිස්සා කියන්නෙ මොනාද බලන්න කියලා නැත්තං ප්‍රශ්න වෙයිද දන්නෙ නෑ කියලා "
මාගෙ සහයකයා පවසන්නේ මා කෙරෙහි බියෙන් බව මට හොඳින්ම පසක් විය.
"බලන්න සේනක... මේ විකාර වැඩ නිසා මගෙ කාලෙ නාස්තිවෙලා යනවනෙ... තාම 'වීරසේන' ගෙ රිපෝට් එක අවෙත් නෑ... හරි හරි මම දැන්මම යන්නම්කො.. ඔය මිනිහ එක්ක මට මහ දෙයක් කතාකරන්න නැති වෙයි.. මං ඉක්මනටම එන්නම් එහෙනම් හවස 'වීරසේන' ගෙ සම්පුර්ණ රිපෝට් එක ලැබෙනවා"
මම වහා පිටත් වූයේ මීට වඩා බොහෝ රාජකරි අද දින තවත් ඉතිරිව ඇති බැවිනි.
මම ශ්‍රී ලංකාවේ තරුණම පුරවිද්‍යාඥයා යයි කියාගැනීම අඩම්බරයට කරුණක් සේ නොසලකමි. මහාචර්ය උදාර වනිගරත්න වන මම ශ්‍රී ලංකවේ ඉපැරණි රාජධානි වල කැණීම් කටයුතු වලින් විවිධ පුරාණ මෙවලම් සහ කෞතුක භාණ්ඩ රැසක් අනාවරණය කරගැනීමට පුරෝගාමී වීමි. 'ආකිරිකන්දේ වීරසේන' ද එවැන්නකි. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආකිරිකන්ද ප්‍රදේශයේ කැණීමකින් පසුගිය සතියේදී සොයාගත් ඇටසැකිල්ලයි.!!
මාගේ බලවත් විරෝධය මත එය වෙත ජනමාධ්‍යකරුවන්ට ලඟා වීමට ඉඩ දීමට බලධාරීහු සමත් වූහ. එමනිසා හරිහැටි ප්‍රත්‍යක්ෂ කරගත් කාල නිර්ණයකින් තොරව, සොයාගත් ඇසිල්ලෙහිම, 'ආකිරිකන්දේ වීරසේන' මුළු ලොවටම නිරාවරණය විය. මාගේ කණස්සල්ලට කාරණය නම් ' වීරසේන' ගේ ගෙලේ රැඳී තිබූ නොදිරූ රන් මංජුසවද ලෝකයටම හෙළි වීමයි. පුරා දින හතරක් මුළුල්ලේ පර්යේෂණ පවත්වන විද්‍යාඥ කණ්ඩායම අවසන් ප්‍රතිඵලය මා වෙත දීමට නියමිත අද හවස් වරුවේදීය.
මේ සියල්ල අතරතුර මතු වූ මේ උන්මන්තකයා කවුරුන් ද? පොලීසිය මීට සම්බන්ධ නොවී නම් මා කිසිවිටෙක ඔහු සොයා යන්නේ නැත. ඔහුට මා හට කීමට ඇත්තේ කුමක්ද?... මෙය මාගෙ කාලය නාස්ති කිරීමට හෝ මා මුලා කිරීමට බලධාරීන්ගේ ප්‍රෝඩාවක්ද? දහසක් සිතිවිලි මැද මම අංගොඩ මානසික රෝහල වෙත රිය ධාවනය කළෙමි.
***********************************************
මා මානසික රෝහලේ නියමිත වාට්ටුව වෙත ලඟා වූ විගසම රෝහල් සේවකයකු මා කැටුව ගියේ කුඩා කාමරයක් අසලටය. සිරමැදිරියක සේ යකඩ කූරු ගසා තිබූ ඒ කුටිය තුළ වූයේ රැවුල වවාගත් තරුණයෙකි.
"ඔන්න තමුසෙට කතා කරන්න ඕනේ කිව්ව නිසා මේ ලොකු මහත්තයා ආවා. මේ මහත්තයට වැඩ ගොඩක් තියෙනවා උඹ වගේ පිස්සෙක් ලඟ කාලෙ නාස්ති කරනවට වඩා... ඒ නිසා කියන්න තියෙන දෙයක් ඉක්මන්ටම කියනවා"
සේවකයා කීවේ තරමක් තද හඬිනි.
ඉන්පසු ඔහු හැරුණේ මා වෙතටය.
"සර්... මං එහෙනම් එහාට වෙලා ඉන්න.. සර්ට මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කතාකරන්න"
"හරි.. තෑන්ක් යූ... "
"මම කීවෙමි.
"උදාර සර් නේද.. ? "
උන්මන්තකයා වහා යකඩ කූරු අසලට විත් මා ඇමතුවේ සාමාන්‍ය පුද්ගලයකු මෙනි.
"ඔව්.. මම තමයි... කියන්න ඔයා කවු ද? මට මොනාද කියන්න තියෙන්නේ.. ? "
මම වහා ඇසීමි.
"සර්.. හදිස්සි වෙන්න එපා හොඳට අහගන්න ඔනෙ.. මොකද මම මේ කියන දේවල් සර්ට ගොඩක් වැදගත් වෙනවා.. මම තමයි සර්.. 'ආකිරිකන්දෙ වීරසේන"
ඔහු රහසින් මෙන් කීවේය.
"තමුසෙට පිස්සුද ඕයි... 'වීරසේන'කියන්නෙ ඇටසැකිල්ලක්. අවුරුදු කීයක් පරණද කියලවත් තාම දන්නෙ නෑ... දැන් ඕක කියන්නද මට එන්න කිව්වෙ... තමුසෙ මගෙ කාලෙ කෑවා... "මට ඇතිවූයේ පාලනය කරගත නොහැකි තරමේ කේන්තියකි.
" සර්... ඉතිං සේරම අහන්නෙ නෑ නේ... මං කියන්නම්... ඔහොම කේන්ති ගන්න එපා. සර්ට මේ ජීවිතේ කවදාවත් අහන්න නොලැබුණු දෙයක් මං කියන්න යන්නෙ... අනික ඔය 'ආකිරිකන්දෙ වීරසේන' හිටියේ ධාතුසේන රජකාලෙ.. සර්ට ඒක දැනගන්න ලැබෙයි.. "
ඔහු කියාගෙන ගියේය.
"හරි.. මට පැහැදිලිව කතාව කියන්න වෙලාගන්නෙ නැතුව.. ඇත්තටම මට තව වැඩ ගොඩක් තියෙනවා.. "
මා පැවසුයේ මෙම උන්මන්තකයාගෙන් ඉක්මනින් ගැලවීමේ අදහසිනි.
“හරි සර්... මට තේරෙනව.. මං වගෙ පිස්සෙක්ගෙ විකාර අහගෙන ඉන්නවට වeඩිය සර්ට වැඩ ගොඩක් තියෙනවයි කියලා.. මං ඉක්මනට කියන්නම්.. සර්ට මතකද වීරසේන මාලයක් දාල හිටියා..රත්තරන් මංජුසවක් වගේ එකක්?? ඒක තමයි කාල යන්ත්‍රය... ඒක දිරන්නෙ නෑ.. කල්ප ගාණක් ගියත්.. මේ ලෝකෙ විනාශ උනත් ඒක විනාශ වෙන්නෙ නෑ. ඒක මගෙ නිපදවීම්ක්.... මං 2350 අවුරුද්දෙන් ආපු කාලයාත්‍රිකයෙක්!!.. මං මගෙ කාල යන්ත්‍රයෙන් එක එක කාල වලට ගියා... එක එක රටවල් වලට ගියා.. 2350 වෙනකොට ලෝකෙ රටවල් බෙදිල නෑ.. මුළු ලෝකෙම එකම රටයි. දැන් සර්ල ගොඩගත්තෙ මගෙ ඇටසැකිල්ල.. මං ගියෙ ධාතුසේන රජ්ජුරුවන්ගෙ කාලෙට. එහෙදි මට ලැබුණේ එච්චර හොඳ පිළිගනීමක් නම් නෙමෙයි. ඒත්.... අන්තිමේ මේ වැව් වගයක් හදගන්න මං අපේ තාක්ෂණේ ඒ අයට දුන්නා.. ඒත් ඒ මිනිස්සු අන්තිමේදි මාව මරලා දැම්මා. මොකද තව කාටහරි මේ රහස් මං දෙයි කියලා.. මගෙ බඩට කිණිස්සකින් ඇණලා තමයි ඒ හේවායෝ මාව මරලා දැම්මෙ.... "
උන්මන්තකයා රසවත් කතාවක් ගොතමින් සිටියේය.
"ඔහේ මළා නම් දැන් ඉන්නෙ කවුද? අවතාරෙද නැත්තං පුනුරුත්පත්තියද??”
මා ඇසුවේ ඔහුට සිනාසෙමිනි.
"ආන්න සර්ට තේරුණේ නැති තැන.. මං අවතාරයක්වත් පුනුරුප්පත්තිය කියන කෙනෙක්වත් නෙමේ.. කාලය කියන්නෙ මායාවක් සර්!! මං තාම ඉන්නෙ පණපිටින්. ඒත් මට තව ඉතුරු සුළු වෙලවයි. මං සර්ට කියන්නම්. දැන් හේවායො මාව මරාදාන්න ඇදගෙන යන වෙලවට හුඟක් කිට්ටුයි... මං දැන් යුග තුනක ජීවත් වෙනවා 475, 2016, 2350... අවුරුදු වල... මාව මරලා දාපු ගමන් මං ආය නතරවෙන්නෙ 2350 දි.. ඒකට තව ටික වෙලාවයි.. මං කියන්නෙ එකම එක දෙයයි සර්... ඒ මංජුසාව කාගෙවත් අතට යන්න දෙන්න එපා.. ඒක භයානකයි.. 2016 තාම කාලතරණයට ඔරොත්තු දෙන තරම් දියුණු වෙලා නෑ... ඒ නිසා ඒක පාවිච්චි කරන්න එපා.... "
ඔහු පැවසුවේ දෑත් එක් කර මට වඳිමිනි.
"තමුසෙ නං මාර කතාකරයෙක් ඕයි.. ඉතින් කොහොමද මේ කාල යන්ත්‍ර මංජුසාව වැඩ කරන්නෙ?"
මම ඇසීමි.
"ඒ හතරවෙනි මානෙ පාවිච්චි කරලා... මේ මංජුසාවට පුළුවන් පෘතුවිය එකම කාල තලයකට ගේන්න.. මේකට යොදගන්නෙ ප්‍රොසිටෝන විද්‍යාව.. මං ඒකයි සර්ට කිව්වෙ 2016 තාම ඒ තරම් දියුණු නෑයි කියලා... ඉතිං සර්.. මං කිව්ව දේවල් අහක දාන්න එපා.. මේ කාල යන්ත්‍රය වැරදි කෙනෙක්ගෙ අතට ගියොතින් සේරම ඉවරයි.. මං ආපහු යන්න කලින් මේ ටික තමයි සර්ට කියන්න ඕනෙ උණේ... "
එවිටම මාගේ ජංගම දුරකථනය නාද විය. මම වහා එයට පිළිතුරු දීමට පසෙකට ගියෙමි.
"හෙලෝ....”
"හෙලෝ සර්... රිපෝට් එක ආවා 'ආකිරිකන්දෙ වීරසේන' ගේ"
මට අනෙක් පසින් අසුණේ මාගේ සහකාර සේනකගේ කටහඬයි.
"මට කියන්න පුළුවන් ද දැන්මම විශේෂ දේවල් ටික? "
මම නොඉවසිල්ලෙන් ඇසුවෙමි.
"හරි.. සර්.. ම්ම්.. ඔව්.. 'ආකිරිකන්දෙ වීරසේන' C14 පරීක්ෂණයෙන් කියැවෙන විදියට සර් ඇටසැකිල්ල අවුරුදු 1500- 1550 ක් විතර පරණයි... ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 466- 516 අතර කාලෙ.."
"ඒ කියන්නේ අනුරාධපුර යුගයේ.. "
"මම පැවසීමි.
"ඔව් සර්.. හරියටම කියනවනම් ධාතුසේන රජ සමය!"
සේනක පවසද්දි මට දහදිය දමන්නට විය.
"හරි සේනක එතකොට 'වීරසේන' මැරිල තියෙන්නෙ මොනව වෙලාද?"
"සර්.. ඒක තියෙන්නේ උදරයට එල්ල උණ දරුණු කිණිසි පාරවල් නිසා කියලා... "
මාගේ සිරුර වෙව්ලනු මටම දැණුනි.
"එතකොට සේනක අර නොදිරපු රන් මංජුසාව ?? "
"ඒක කිසි වැඩකට නැති එකක් කියල විද්‍යාඥයො කිව්වලු. ඒක රත්තරනුත් නෙමේලු කිසිම අපි දන්න ලෝහයක ලක්ෂණ ඒකෙ නෑලු..ඉතිං ඒක කෞතුකාගරෙන් තියනවයි කිව්වලු.."
"ආ හරි හරි මං තව ටිකකින් එනවා සේනක.. ඇවිල්ල රිපෝට් එක හරියටම බලන්නම් "
මම කීමි.
"සර් කොහොමද පිස්සගෙ වැඩේ එයා මොනවද කියන්නෙ...?? "
ඔහු ඇසුවේ මගේ ගතේ වෙව්ලීම තවත් වැඩි කරවමිනි.
"කොහෙද යන පිස්සෙක් මගෙ කාලෙ කාපු එකයි උණේ.. "
මම වහා දුරකථනය විසන්ධි කළෙමි.
එවිටම මට ඇසුණේ රෝහල් සේවකයාගේ කෑගැසීමයි. රැඳවුම් කුටිය වෙත දිවගිය මට දැකගත හැකිවූයේ කිණිසි පහරවල් දහසක් ලද්දාසේ ලේ වැගිරී කුටියේම නිසලව සිටි උන්මන්තකයාගේ රුවයි. ධාතුසේන රජුගේ හේවායන් විසින් ඔහුව වසර 475 දී මරුමුවට පත් කළ අයුරු මගේ දෑස් මානයේ දිස්වෙමින් තිබිණි. මම සාක්කුවෙන් ලේන්සුව ගෙන දහදිය පිසදමා ගත්තෙමි.
දෙවනි පරිච්ඡේදය
"සර් සර්.. මොකද මේ අමුතු වෙලා සර්ගෙ මූණ හරි නෑනෙ.. පිස්සා මොනවද කිව්වෙ සර්..."
සේනකගේ කුතුහලය දැන් මට වදයකි.
"මුකුත් නෑ සේනක මගෙ ඔලුව ටිකක් රිදෙනවා.. "
"සර් ට පැනඩෝල් දෙකක් ගෙනල්ලා දෙන්නම් ද?"
"මට ටිකක් පාඩුවෙ ඉන්න දෙන්න සේනක.. ඊට පස්සෙ මේ ගතිය ඇරිලා යාවි.."
"හරි සර්.. මම යන්නම් සර්ට ඕන උණොත් මට කතා කරන්නකො.."
මම ඊට පිළිතුරු නොදුන්නෙමි. මට අවශ්‍ය වූයේ මේ 'ආකිරිකන්දේ වීරසේන' පිළිබඳව තවත් සිතා බැලීමට ය. නමුත් තව කුමක් කියා සිතන්න ද? 'ආකිරිකන්දේ වීරසේන' ම සියල්ලට ම පිළිතුරු ලබා දී තිබිණි. මම පුරාවිද්‍යාඥයකු මිස විද්‍යාඥයකු නොවෙමි. එබැවින් ඔහු පැවසූ ප්‍රොසිටෝන විද්‍යාව මට අණ්ඩර දෙමළයකි. එක්වරම මට යමක් මතකයට නැඟුණි. මට මේ වෙනුවෙන් කළ හැකි එක් දෙයක් ඇත. එය කළ හැක්කේ ද මටම පමණ ය.
"සේනක...."
මම හඬගෑවෙමි.
"සර්ට පැනඩෝල් ඕනෙ ද?"
ඔහු මා වෙත ඉක්මනින් ම පැමිණියේ ය.
"නෑ සේනක.. මට හොඳයි වගෙ..."
"මෙච්චර ඉක්මන්ට ..?"
සේනක ඇසුවේ පුදුමයෙනි.
"ඔව්... දැන් කියන්නකො අපේ වීරසේනගෙ විස්තරේ..."
"ඉන්න.."
ඔහු වහා දිව ගොස් විශාල ෆයිල් කවරයක් මා ඉදිරියේ තැබුවේ ය.
"එතකොට කාබන් පරීක්ෂණෙන් කියවෙන විදියට මේ 'ආකිරිකන්දේ වීරසේන' අයිති වෙන්නෙ අනුරාධපුර යුගයෙ ධාතුසේන රජ්ජුරුවන්ගෙ කාලට..."
මම ඇසීමි.
"ඔව් සර්.. මම කෝල් කළාම කිව්වෙ.. අනික වීරසේන මැරිලා තියෙන්නෙ බඩට එල්ල වෙච්ච දරුණු කිණිසි පාරවල් වලින්ලු.. කොච්චර දරුණු ද කියනවනම් අස්ථි වලටත් හානි වෙලාලු.. "
සේනක කීවේ ය.
"එහෙනම් මිනිමැරුමක්... "
"ඔව් සර්.. අවුරුදු 1500 ක් විතර පරණ මිනිමැරුමක්... ඉස්සර රජ කාලෙ දඬුවම් වෙන්න ඇති සර්.."
"ඒක ඇත්ත... ඉතින් දැන් වීරසේනට මොකද කරන්නෙ..? කට්ටිය තීරණයක් අරගත්ත ද?"
"වෙන මොනා කරන්න ද කෞතුකාගාරෙ තමයි.. "
"එතකොට මංජුසාව..? ඒකත් කලින් කිව්වා වගෙ තියන්නෙ කෞතුකාගාරෙම ද?"
"නෑ සර්... ඒක ඉක්මනින්ම ඇමරිකාවෙ යවනවා කිව්වා.. ඒ පණිවිඩේ ආවෙ මම සර් ට කෝල් කරලා විනාඩි ගාණකට පස්සෙ... ඒක අමුතු නිසා එහෙ ලැබ් එකකින් ටෙස්ට් කරවනවලු..."
"විනාසයි...."
මට කියැවිණි.
"මට කියන්නවත් ඕනෙ නැතුව ඇති නේද? අපි ඉන්නෙ වළවල් හාර හාර ඇටසැකිලි ගොඩගන්න විතරනෙ.. ඒවා හොයාගත්තට පස්සෙ සේරම අයිතිය ලොකු ලොක්කන්ට.."
මම කෝපයෙන් කීමි.
"තරහ ගන්න එපා සර්.. ඕවා ඔහොමනෙ හැමදාමත් උණෙ.. ඇයි සර් විනාසයි කියලා කිව්වෙ..?"
මම ඉක්මනින් ඊට පිළිතුරක් සදා ගතිමි.
"ඉවරයි කිව්වෙ අපේ දේවල් පිට යන නිසා... අනික පරීක්ෂණ කිය කියා උන් අවුරුදු ගණන් ඕක තියාගන ඉඳීවි... අන්තිමට ඕක ආයෙ ලංකාවට එද්දි ඒකෙ කෑලි ගැලවිලා තියෙයි.."
මා කෝපයෙන් කියද්දී මගේ ජංගම දුරකතනය නාද විය. ඒ ඇමතුම දෙපාර්තමේන්තු ප්‍රධානියකුගෙනි.
"හෙලෝ සර්.."
"උදාර.. 'ආකිරිකන්දේ වීරසේන ' ගෙ රිපෝට් එක ඔයාට ලැබුණා නේද?"
"ඔව් සර්... "
"ඔයාගෙ වැඩ ගැන ආඩම්බරයි.. අර රත්තරන් පාට මංජුසාව හරිම අමුතුයි.. ඒකෙ ලෝහ වර්ගෙවත් අපිට හොයාගන්න බෑ.."
ඔහු හෑල්ලක් කියාගෙන යයි.
"ඔව්.. ඒක වෙනස් තමයි..."
මම කීමි.
"ඒක දැන් ටිකකට ඉස්සෙල්ලා ඇමරිකාවට යැව්වා.. ප්‍රොෆෙසර් ඩේමියන් දන්නවනෙ.. එයාගෙ ලැබ් එකේ ටෙස්ට් කරන්න යන්නෙ..."
"කවදා ඒවිද රිපෝට්.. කවදා හම්බවෙයිද අපිට මංජුසාව..."
මම කලකිරීමෙන් කීවෙමි.
"ඒක දන්නෙ නෑ... සමහරවිට අවුරුදු ගාණක් උණත් යාවි.. ඒත් ඒක මොකද්ද කියලා දැනගන්න එක කොච්චර වටිනවද?"
"ඔව්.. ඔව්.. ඇත්ත.."
මා එකඟ වූයේ අකමැත්තෙනි.
"හරි උදාර.. මම ඒක කියන්නයි කතා කළේ.. දිගටම මේ විදියට වැඩ කරන්න.. ඔයාට උසස්වීමක් හම්බවෙනවා ලඟදිම.. ඒ ගැන පස්සෙ කතා කරමුකො..මම තියන්නම්.."
"හරි සර්.. තෑන්ක් යූ.."
මම ඇමතුම විසන්ධි කළෙමි.
මට සිදු කිරීමට සිතුණු කටයුත්ත වෙනුවෙන් ඇතැම් විට තවත් අවුරුදු කිහිපයක්ම බලා හිඳීමට සිදුවනු ඇත.
"දැක්කනෙ සර් ලොක්කන්ගෙ හැටි.."
සේනක කියද්දී මම දිගු සුසුමක් හෙළුවෙමි.
**************************************************
වසර හතරකට පසු - 2020 ජනවාරි
" සර්... "
"කියන්න සේනක මොක ද?.. ගම්පහ ප්‍රශ්නෙ දරුණුයි නේද? මිනිස්සු කැණීම් වලට ප්‍රශ්න දානවා.. මට තේරෙනවා.. කොහොමහරි ශේප් කරගන්න බලන්න... "
"නෑ සර් ඒක නෙමෙයි.. ඒ ප්‍රශ්නෙ සහන් සර් ලා බාරගත්තා.. අන්න වීරසේනගෙ මංජුසාවෙ රිපෝට් එකයි මංජුසාවයි ලංකාවට එවලා.. "
" මොනවා... "
මම සතුටින් කීවෙමි.
ඔහු රැගෙන ආවේ මා වසර ගණනාවක් බලා සිටි ආරංචියයි.
"කෝ ඉතින්..."
"කුරියර් කළා කිව්වා සර්.. ටිකකින් ඒවි.. ඒත් රිපෝට් වැඩක් නෑලු.. එයාලටත් හොයාගන්න බැරි වෙලා..."
"අවුරුදු හතරක් විතර ගිහිල්ලත්.. අයියෝ ඇමරිකාව.."
මට සිනහා පහළ විය. එමෙන්ම සිතේ තිබූ බිය ද පළා ගියේ කාල තරණ රහස් ඇමරිකාවර හෝ අනාවරණය නොවීම නිසා ය.
"මංජුසාවත් මෙහෙට එවනවද සේනක..."
"ඔව්... සර්ට ඒක බලලා පස්සෙ කෞතුකාගාරෙට දෙන්න පුළුවන්නේ..."
"නියමයි...හැබැයි කෑලි අඩු ද දන්නෙ නෑ..."
"නෑ නෑ.. කලින් යවපු බරම තියෙනවාලු..ඒකෙ සැකයක් තියාගන්න එපා සර්.."
සේනක කීවේ මගේ සිතට සැනසීම ගෙන දෙමිනි.
************************************************
මම ඔබට එක් දෙයක් සැඟවීමි. ඒ එය ඔබ කිසි ලෙසකින් හෝ දැනගත යුතු දෙයක් නොවූ නිසාය. 2016 වසරින් නික්මීමට පෙර 'ආකිරිකන්දේ වීරසේන' තවත් දෙයක් මට හෙළිදරව් කළේ ය. ඒ මීලඟ කාල යාත්‍රිකයා වන්නේ මා බවයි. එයට තවත් වසර කිහිපයක් ගතවන බවත් එසේ කාලය හරහා ගමන් ගන්නා ආකාරය වෙන කිසිවකුට හෙළිදරව් නොකළ යුතු බවත් අප හමු වූ මිනිත්තු කිහිපය තුළ දී ඔහු මට පැවසීය. 2016 වසර කාල තරණයට උචිත නොවූව ද 2020 එයට යෝග්‍යය විය යුතුමය. කුරියර් සේවයෙන් පැමිණි රන් මංජුසාව ගෙන මම නාන කාමරය වෙත ගියේ කාලය හරහා පියඹා යාමට ය. ඔබ මගෙන් විමසන දේ මම දනිමි. නමුත් කරුණාකර තවදුරටත් එය මගෙන් නොවිමසන්න. මංජුසාව ක්‍රියාත්මක කරන ආකාරය වීරසේන හා මා අතර ඇති රහසකි.
"2350..ඔන්න මම එනවා.."
මම මටම මුමුණා ගතිමි.
************************************************
"හලෝ උදාර සර්... අන්තිමේ ඔයා ආවා එහෙනම්..."
ඒ 'ආකිරිකන්දේ වීරසේන' හෙවත් උන්මන්තකයාගේ හඬයි.මම හිස ඔසවා ඔහු දෙස බැලීමි. වෙනසක් නැත. ඒ ඔහුම ය. 475 වසර වෙත ගිය වීරසේනට මුහුණ දීමට සිදු වූයේ මහා බිහිසුණු ඉරණමකට ය. නමුත් ඔහු තවමත් දැන් මා සිටින 2350 වසරේ ජීවත් වෙයි. මා පැමිණ සිටියේ වීරසේනගේ විද්‍යාගාරයට විය යුතුය.
"මේක පුදුමයක්..."
මම මිමිණුවෙමි.
"ඔයා ආවෙ මොන අවුරුද්දෙ ඉඳල ද උදාර සර්..? "
"2020.. "
"මොන මාසෙද?"
"ජනවාරි.."
" මේ අහන්න උදාර සර්.. 2020 න් පටන් ගන්නෙ ලෝකෙ දරුණුම කාලයක්.. ලොකු වසංගත දෙකක් පැතිරෙනවා.. ඒකෙන් ලෝක ජනගහනය ගොඩක් අඩු වෙනවා..."
"මොනවා...!"
ඇත්තෙන්ම ඒ වන විට චීනය දෙසින් බෝ වන වසංගතයක් හිස ඔසවා තිබිණි.
"ඔව් පළවෙනි එකට වඩා දෙවෙනි එක දරුණුයි... ලෝකෙන් 50% ඉවර වෙනවා මේ වසංගත ඉවර වෙද්දි... බේත් හොයාගත්තත් ඒවට හොඳ වෙන්නෙ සුළු ප්‍රතිශතයක් විතරයි..2022 වෙද්දි වසංගත දෙක ඉවරයි.. ඒත් ලෝකෙ ආර්ථිකේ කඩා වැටෙනවා...මට එදා සර්ට මේවා කියන්න තරම් කාලයක් තිබ්බෙ නෑනෙ..."
වීරසේන කියාගෙන ගියේ ය.
"එතකොට වීරසේනගෙ මුතුන්මිත්තො..ඉතුරු වෙච්ච 50% ට අයිතියි..."
මා ඇසුවේ මෝඩ ප්‍රශ්නයකි.
"මගෙ නම වීරසේන නෙමෙයි සර්.. මං මිත්‍ර.. ඔව් අපේ මුත්තලා ගොඩක් දුක් විඳලා ජීවිතේ ගැටහහගෙන තියෙනවා ඒ ගැන ලියවිච්ච පරණ පොත් ඕන තරම් තියෙනවා... ඉතින් ආයෙ 2050 වගෙ වෙනකොට තමයි ලෝකෙ ආයෙම කලින් වගෙ හැඩගැහෙන්නෙ.. ඒත් වෙනස් විදියට.. මිනිස්සු සොබාදහමට ආදරේ කරන්න ගන්නවා.. විද්‍යාව දියුණු වෙන්නෙ සොබාදහමත් එක්ක.. ලංකාව ගොඩක් දියුණු රටක් වෙනවා.. දැන් මේ 2350 දි ලෝල බලවතා කවුරුවත් නෙමෙයි ශ්‍රී ලංකාව.."
වීරසේන හෙවත් මිත්‍ර පවසද්දී මට පුදුම සිතිණි.
"ඒත් මේ කාලතරණය තවමත් හරියට දියුණු වෙලා නෑ.. 475, 2016, 2350 අතරෙ මේක තාම හිර වෙලා... "
ඔහු කීය.
"ටිකක් ඇවිදින්න යමුද..?"
"අනිවාර්යෙන්ම යමු.. සර්ට අපේ දියුණුව බලන්නත් එක්ක..."
මම වීරසේන හෙවත් මිත්‍ර සමඟ විද්‍යාගාරයෙන් පිටතට ගියෙමි.
************************************************
මගේ දෑස් අදහාගත නොහැකි විය. මුළු පරිසරයම නීල හරිත වන පෙතක් බඳුය. කෙත් වතු හා කෘෂි බෝග වගා සිව් දෙසම විය. අප සිටි විද්‍යාගාරය සාදා ඇත්තේද වැඩෙන වෘක්ෂයක් යොදා ගෙනය. කිසි බියක් නැති සා පොව්වෙක් අප සමඟම පැන පැන ආවේ ය.
මා නොඇසූ පැනයට මිත්‍ර පිළිතුරු දුන්නේ ය.
"සර්.. 2350 නිර්මාංශිකයි... සත්තුන්ට හිරිහැර නෑ... ඒකයි මේ..."
"හරිම ලස්සන ලෝකයක්..."
මම කීමි.
"කැපවීමෙන් ආදරෙන් සොබාදහමත් එක්ක ගොඩනැගුණු ලෝකයක්.. සර්ට ආපහු යන්න හිතෙන්නෙ නෑ වගෙ නේද..?"
"ඔව් මිත්‍ර.. මෙහෙ ඉන්න හිතෙන්නෙ මට.. අනික හරි දියුණුයි..."
"දියුණුයි.. වෛද්‍ය විද්‍යාවෙන් ඉංජිනේරු විද්‍යාවෙන් සේරගෙන්ම දියුණුයි.. මනසෙනුත් දියුණුයි... ආස උණාට ඔයාට ඉන්න බෑ උදාර සර්.. ඔයා ආපහු යන්න ඕනෙ... ආයෙ මංජුසාව පාවිච්චි කළත් ඔයාට එන්න වෙන්නෙ 2350 ට හරි 475 ට හරි විතරයි.. ඒ අවුරුදු 3 න් එහා මුකුත් කරන්න බෑ... "
"මම ඉක්මන්ටම යන්න ඕනෙද මිත්‍ර..?"
මා ඇසුවේ කනස්සල්ලෙනි.
"ඔව්... එක දිගට දවස් තුනයි ඉන්න පුළුවන්.. මම 475 දි ගොඩක් කල් හිටියා තමයි.. ඒ සැරින් සැරේ ආවා ගියා.. ඒක වෙහෙසයි.."
මිත්‍ර පවසද්දී මම අසා සිටියෙමි.
***********************************************
දින තුන ගෙවී ගියේ ඉතා ඉක්මනිනි. මෑතක දී ලියැවුණු ඉතිහාස පොතක් මිත්‍ර මට තෑගි දුන්නේ ය. අපට මුහුණ දීමට ඇති මහා වසංගත පිළිබඳව ද සිතේ තබා ගෙන කාලයාත්‍රික මිතුරාට සමුදුන් මම නැවත මගේ වසරට පැමිණියෙමි.
************************************************
"සර් සර්.. මොකද මේ අමුතු වෙලා සර්ගෙ මූණ හරි නෑනෙ.. පිස්සා මොනවද කිව්වෙ සර්..."
නාන කාමරයේ සිට පැමිණෙන මගෙන් සේනක විමසීය.
"මොන පිස්ස ද සේනක..?"
"දැන් සර් ගිය පිස්සන් කොටුවෙ පිස්සා.. ඇටසැකිල්ල එයා කියලා පිස්සු නටපු එකා..."
මම බියෙන් දින දර්ශනය දෙස බැලුවෙමි. ආකිරිකන්දේ වීරසේන හෙවත් මිත්‍රගේ වදන් මට වැටහුණේ එවිටය. දින දර්ශනයේ 2016 වසර දිස්වෙමින් තිබිණි.
කේ. ජී. අයෝධ්‍යා සොනාලි
අයෝධ්‍යා සොනාලි
Comments
Post a Comment