සුදු වැලි මළුවේ දිගට එළා ඇති සලුව මත හිඳ උන් මා සිලි සිලි හඬින් සැලෙන බෝපත් දෙස දෑස් තබා ගෙන හිඳ පිරිත් පොත් සහ දහම් පොත් ටික අසුරා පසෙක තබා ගැඹුරු හුස්මක් හෙළා දෙනෙත් තද කර වසා ගත්තේ හිතට දැනෙන නොනිම් සුවය තවත් විඳ ගනු වස් ය.


" සුදු හාවී.....  "

විදුළියක් කෙටුවා සේ ඒ හඬ මනස අභ්‍යන්තරයෙන් දෝංකාර දුනි.

" සුදු නෙළුම ..... "

" හිතට තියෙන්නේ පුදුම සැනසීමක් නේද ....?"

" හ්ම්...ඔයාට පිං මහත්තයෝ .... මට මේ සැනසීම දෙනවට.."

" අනේ ... එහෙම කියන්න එපා... සංසාරේ දිගේ අපි යන කොට ... අපිට තැනකදි වැටහෙනවා මේ හැම දේකම අනියත බව.... එදාට අපි නිවන් මාර්ගය හොයා ගෙන ඒකේ ගමන් කරනව .... ඒක මං කියල දුන්නා විතරයි .. . ඔයා ලස්සනට ඒක අල්ලා ගත්තා...."

" ඒත් මං කවදාවත් ඒ පැත්ත ගැන හිතලා තිබ්බේ නෑනේ "

ඔහු මගේ අතැඟිලි ස්පර්ශ කළේ හරිම සියුම්ව ය. හරිම ලෝභ කමිනි.

" අපි මේ සසර ගමන හිමින් යමු...... දවසක අතාරින්න සිද්ධ වුනොත් අතාරින තැනට හිත හැදුනොත් අතාරිමු..."

" මාවත් ...."

මා කෙළින් ම බැලුවේ ඒ තරු නෙත් දෙසය.

" නෑ මැණික ..... ඔයාව අල්ලන් ඉන්නවා සසරේ කෙළවර වෙනකල්... ඒත් අපි මේ හැමදේකම අනියත බව තේරුම් අරන් යමු..... "

දෙනෙත් අගට කඳුලක් මෝදු වූවේ නිවන සොයා මා යන ගමනට පාර පෙන්වා දී නිරයට වැටී දුක් විඳි ඔහු සිහිවීමෙනි.

මා නමින් මධුෂිකා වික්‍රමසිංහ වේ. එදවස තිස් වියේ පසු වූ මා සුවහසක් දරුවන් ගේ දෑස් පාදන ගුරු වෘත්තියේ නියැළී සිටියේ බොහෝ ම අවංක සේවයක් කිරීමට හැකි පමණින් උත්සාහ ගනිමිනි. විෂයයක් වශයෙන් ඉංග්‍රීසි විෂය ඉගැන්වූ මා කා අතරත් ජනප්‍රිය චරිතයක් වූවේ මාගේ රාජකාරිය මගේ මට්ටමට ත් ඉහළින් සිදුකරමින් කා සමඟත් සුහදව කටයුතු කළ නිසාවෙනි. ඉතින් මා සැනසුනෙමි. ඔහු මුණ ගැසී ප්‍රේම ගින්නට හසු වන තාක් ම මා සැනසීමෙන් සරලව දිවි ගෙව්වෙමි.

ඔහු විශ්ව රාජකරුණා විය. ඔහු එදා මට විශ්වයක් ම විය. බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනයේ පුහුණු වැඩ මුළුවකදී මුණ ගැසෙන විට ද ඔහු පාසලක සංගීත ගුරුවරයෙකු විය. මිතුරන් සේ ඇසුරු කර එම මිතුරුකම ප්‍රේමයක් දක්වා දුර දිග ගියේ ඔහුගේ තිබුණු නිවුන ගති ගුණ වලට මා බෙහෙවින් ඇලුම් කළ නිසාවෙනි. ඔහු දහම් මග මට ඉගැන්වීය. බුදුන් වඳින්න ට බෝධි පූජා පැවැත්වීමට පවා නිසියාකාරව නොදැන සිටි මට ගුරු හරුකම් දුන්නේ ඔහුය.

" සුදු නෙළුම ....."

මා ඔහුට එසේ ඇමතුවේ එතරම්ම පිරිසුදු ප්‍රේමයක් පිරිසිදු චරිතයක් ඔහුට තිබූ නිසාවෙනි.

" අම්ම කියනවා ඔයාලගේ අම්ම ල එක්ක කතා කරමු කියල .... දැන් අවුරුදු තුනකුත් වෙන්න එනවනේ ...."

අප දෙදෙනගෙම පාසල් තියූ සීතල නුවරඑළියේ සුන්දර මිටියාවතක තිබූ ඒ සුපුරුදු කුටියේ දී ලය මත හිස හොවා ඇඟිලි තුඩු වලින් රටා මවන අතර මා විමසුවේ කල වයසත් නික්මී යන බැවිනි.

" හා ..  මැණික ... මං මේ පාර නිවාඩුවට ගියාම කතා කරන්න ඉන්නේ ...  ඊට පස්සේ අපි චාරිත්‍ර ටික කරමුකෝ.."

" ඔව් ඒක හොඳයි ... තවත් ඉතින් මෙහෙම තැන් තැන් වල යන එක හොඳ මදිනේ "

සරල ඇවතුම් ඇති වුවද තරුණියක් ලෙස මට ද සෑම තරුණියකට සේම කප්පරක් හීන තිබුණි. ඒ හීන ඔහු පාට කරන තෙක් ඇඟිලි ගැන්නේ ඔහු හා එක් වහලක් යටට වී දරු සිඟිත්තන් සාදා ගෙන පිළිවෙලක් වන්නටය.

" මධූ .... ආරංචිය සුභ නෑ ... "

" ඒ කිව්වේ ...?"

" අම්මලා කියනවා වෙන හොඳ තැනකින් කටයුතුත්තක් බලනවා කියල ..."

" එතකොට අවුරුදු තුනක් තිබුන අපේ ආදරේ .....? ඔයාට පුලුවන් ද එහෙම කරන්න ...?"

" නෑ ... නෑ .... අනේ ඔයා කලබල වෙලානේ .... මං කරන්නේ මට ඕන එකක්. ඔයාව අතාරින්න බලාපොරොත්තුවක් මගෙ නෑ... ඔයා බය වෙන්න එපා සඳ ...."

හිත පුරා දිව ගිය වේදනාව කෙසේ දරා ගන්නදැයි සිතා ගත නොහැකිව නිවාඩුව ට නිවසට පැමිණ සිටි මා කුරුණෑගලින් බසය ට නැග එහෙම්ම ගියේ රුවන්වැලි සෑයටය. හිතට දැනුනේ පුදුමාකාර සැනසීමකි. රුවන්වැලි සෑ සමිඳු අභියෙස සුදු නෙලුම් වට්ටියක් පුද කර පතා සිටියේ සියල්ල නිරවුල් කර දෙන ලෙසටය.

සුපුරුදු ලෙස කාලය ගෙවී ගියේ ඔහුත් මම ත් කාර්‍ය්බහුල වෙමිනි. නමුත් හැකි සෑම විටම ඔහු මා අමතන්නට ද මා ඔහු අමතන්න ට ද අමතක කළේ නැත. දිනක් මා ඔහුට දිගින් දිගටම ඇමතුම් ගත්ත ද ඔහු දුරකතනය හා සම්බන්ධ වූවේ නැත. උත්සාහය අත් නොහැරි මා සවස් කල වනතුරු ම ඇමතුම් ගත්තේ ඔහුට කරදරයක් වත් වූවේ දැයි දෙගිඩියාවෙනි.

" ඔව් කියන්න ..."

දෙවියන් ට ස්තූති වන්නට ඔහු ඇමතුමට සම්බන්ධ විය.

" දිගටම මං ගත්තා....  මොකද වුනේ ...?"

" ආ .... නෑ ... මේ ... යාලුවෙක් ඇවිල්ලා හිටියා ... ෆෝන් එක ගාණක් වුනේ නෑ ..."

සැක නොහිතුනාම නොවේ. නමුත් ඔහුව සැක කිරීමට හිත මැලි වූවේය. රාත්‍රියේ මා නින්දට යන්නට පෙර මඳක් භාවනා යෝගීව සිටීමට පුරුදු වී සිටියේය. ඒ ඔහු පුරුදු කර තිබූ ආකාරයටය. දුරකතනය දිගෙන් දිගටම නද දුන්නේ නොදන්නා අංකයකින්. දෙගිඩියාවෙන් ඇමතුම හා සම්බන්ධ වීමි.

" හෙලෝ .... මේ මධුෂිකා ද ...? "

" ඔව් .... කවුද මේ ...."

" ඔයා මාව දන්නේ නෑ... ඒත් මං ඔයා ගැන අද  දැන ගත්තා.."

" කවුද මේ ....? "

" මං විශ්ව ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් "

ඇඟ පණ නැතිවී යන සෙයක් මට දැනුණි. දුරකතනය අතින් අත් හැරී යහන මතට වැටුණි. වෙව්ලන දෑතින් නැවත දුරකතනය කන තබා ගත්තේ අසිහියෙන් මෙනි.

" හෙලෝ මධූ .... ඇහෙනව ද ඔයාට ...?"

" ඔව් අහන් ඉන්නේ "

" මං ඔයාව රිද්දන්න නෙවේ ගත්තේ ...  විශ්ව ගැන යමක් කියන්න ... "

" මොකද්ද ...?"

" මං දන්නවා ඔයා එයා එක්ක සම්බන්ධෙ තාම තියනවා කියල ..."

" අපි බඳින්න ඉන්නේ ..."

" එයා මාවත් බඳින්න ඉන්නේ ..."

" මොනවද ඔයා මේ කියන්නේ ...?"

" ඔව් මධු... මං අනුරාධා ... විශ්වගෙයි මගෙයි සම්බන්ධේ දැන් මාස අටක් විතර. එයා අපේ ගෙදරත් එනවා යනවා.. අපේ අම්මලා ත් එයාට කැමති.... "

ඒ සියල්ල මට ඇසුනේ හීන ලෝකයකිනි.

" ඒත් අද විශ්ව අපේ ගෙදර ඇවිල්ලා ඉන්න වෙලාවෙයි ඔයා එයාට කෝල් කලේ.... ඉතින් මට සැක හිතිලා ෆෝන් එක බැලුවා ... මධූ ඔයා ට කියන්න බෑ මට මේ විස්තර ...."

ඇය හඬන්නීය. නැවත ආවේගශීලී වන්නීය. නොනැවතී කියවන්නීය.

" කමක් නෑ ... නහයටත් උඩින් වතුර ගිහින් ඉන්න මට ඉතුරු ටික මොනාද ...."

" ඔය දන්නව ද රොෂෙල් කියල ගෑණු කෙනෙක් ගැන .... මධූ...! "

" ඔව් .... එයා මට කියල තිබ්බා. ... කැන්සර් එකක් කාත් කවුරුත් නෑ කියල... "

" කවුරු කියල ද කියල තියෙන්නේ ....?"

" සාමාන්‍ය යාලුවෙක් කියල ....."

" හ්ම්... "

" පහු ගිය ටිකේ එයා ජීවිතේ ගැන කලකිරිලා ඉන්නවා කියල මහන වෙන්න තැනක් බලන්න කිව්ව "

" ඒ ඔයා දන්න විදිය .... ඔයා දැක්කෙ නැද්ද විශ්වගේ ෆෝන් එකේ එයාලා දෙන්නගේ නිරුවත් ජායාරූප තියෙනවා "

" මොනවා .....?"

මගේ හුස්ම ටික හිර උනේ නැතුවා පමණය. නිදහස් අතින් පපුව මිරිකා ගත්තේ වේදනාව උහුලා ගත නොහැකිවය.

" ඔව් රොෂෙල් කියන්නේ ක්ලබ් ඩාන්සර් කෙනෙක් ..... ඒවගේම සෙක්ස් ඇඩික්ටඩ් ගෑණියෙක් .... විශ්ව ඒකිව තියාගෙන ඉඳලා .... මං ඇස් දෙකෙන් දැක්කා මේවා ... රොෂෙල් ගෙන් ගැලවෙන්න ඕන නිසා විශ්ව ප්ලෑන් කරල තියෙනවා රොෂෙල් ගේ ඔලුව හදලා මහණ කරවන්න...."

" දෙයියනේ ..... ඒ කියන්නේ විශ්වත් ...."

" ඔව් විශ්ව සෙක්ස් වලට ගැලවෙන්න බැරි තරම් ඇබ්බැහි වෙලා.... මා එක්ක සම්බන්ධෙ පටන් අරන් තියෙන්නේ ඔය දෙකම තියන අතර.... මා එක්ක ත් ඉන්න සෑහෙන උත්සාහයක් ගත්තා. හැබැයි එයා කතා කරපු කිසි තැනකට මං ගියේ නෑ... ගෙදර ආවම ත් අම්මා ළඟ පාතමයි හිටියේ ..."

" දෙයියනේ ... කොච්චර බොරුවක් ද කරලා තියෙන්නේ මේ මිනිහා .... පිරිසිදුකම මං විශ්වට පූජා කලේ ලඟදිම අපි බඳින නිසා... සැකයක් හිතන්නේ කොහොමද තවුසෙක් වගේ ඉන්න කොට ...."

" මධූ .... මට දුක නෑ... මොකද මං දෙයියන්ට පිං දෙනවා මේ ඇත්ත කලින් ම පෙන්නුම් කරලා දීලා මාව ඒ තිරිසනාගෙන් ගැලෙව්වට..... "

" හ්ම්... මං කොහොම මගෙ දෙමාපියන් ට මූණ දෙන්න ද කියල හිතා ගන්න බෑ... අනික මගෙ ආදරේ.... මං හරි අහිංසක ගෑණියෙක් අනේ .... කාටවත් වරදක් කරල නෑ ..."

" ඔව් ඒක මට තේරුනා ඔයාගේ ෆොටෝ දැක්කම ....අපේ අම්ම තම කිව්වේ ඔයාට කතා කරල කියන්න කියල මේ දේවල් ....."

ඉතින් ලෝකය බිඳුනි. පැතූ හීන මාලිගා සුන් වී දෙපතුල් දෙක අභියෙස පිළිස්සී ගියේය. එදා පටන් ඔහු ඉගැන්වූ දහමේ හැසිරෙනවා හැර කරන්නට අන් දෙයක් නොවිනි. රෝගී වූ සිත දහමට සුවපත් කරන්නට හැකි බව අත් හදා බැලුවෙමි. නමුත් කිසිම දා ඔහුට වෛර කළේ නැත. ඔහු මට පෙන්වූ දහමේ වෛරය ක්‍රෝධය තිබුණේ නැත. දහමට අනුගත කරමින් සිත සුවපත් කිරීමේ ක්‍රියාදාමය ඇරඹීය. එය කෙළවර වූවේ මේ මෙහෙනි ආරණ්‍යයෙනි.

වසර ගණනකට පෙර ඔහු ඇවිලූ රාග ගින්නෙන් දැවී ගියේ ඔහුමය. අදින් හරියටම වසරක ට පෙර චිතකයට ද ගිනි තබා දැමීය. ඒඩ්ස් රෝගය සෑදී ඔහු අවසන් හුස්ම අයදින බව දුරකතනයෙන් අමතා ලොකු මෑණියන්ට කියා ඇත්තේ අනුරාධාය. සුවපත් වී තිබූ සිත යළි රෝගී කරනට ඔහු බැලීමට යාමට ආත්මයෙන් අවසර නොදෙයි. දිට්ඨධම්ම වේදනීය කර්මයක් ලෙස රැවටීමේ විපාක ඔහුට මේ ආත්මයේදී ම ලැබී ඇතුවා පමණක් නොව සසර ද බොහෝ සෙයින් දිගු කර ගැනීමට ඔහු මං විවර කර ගෙන ඇත.

ඔහු යොමු කල දහම තුළින් අද මා නිවීම සොයා ගෙන ඇත්තේ සසර මේ භවයෙන් අවසන් කිරීමට විය හැක. ඔහු නිසා ඇවිලුනු සිත නිවී ගියේ පෙර භවයක කර ගන්නා ලද අකුසලයක් පල දීම හේතුවෙන් බව මා විශ්වාස කළ නිසාය. එ නිසා කුහුඹුවෙකුට හෝ මේ ආත්මයේ දී දුකක් හිරිහැරයක් මා අතින් සිදු වූවේ නොමැත. හිතින් පැතුවේ ද නැත.

රාගය නම් ගින්නක් මය. ඒ ගින්න තුළට වැටෙන්නෝ එහිම පිළිස්සී මිය යයි. මිදීමක් නොමැත.

සමාප්තයි.

මුහුණු පොතේ සොඳුරු මිතුරියකගේ සත්‍ය ජීවන
අත්දැකීමක් ඇසුරිනි. නම් ගම් සියල්ල මනස්කල්පිතය. අදද කොහේ හෝ මෙවන් රැවටී කරමින් යන විශ්වලාගේ රාග ගිනි නිවේවා.  ා

Comments

Popular posts from this blog