කෞතුකාගාරයේ අභිරහස

 



හෝම්ස් මා සමඟ හොප්කින්ස් සහ අනෙකුත් අයගෙන් සමුගෙන කෞතුකාගාරයෙන් එළියට ආවා . ඉදිරිපස තියෙන ආරක්ෂක නිලධාරීන් සදහා භාවිතා කරන කුටියේ අවට ඉතාමත් හොදින් නිරීක්ෂණය කරන්න හෝම්ස් සෑහෙන කාලයක් ගතකළා. කුටිය පිටුපස බැසිල් මහත්මය වැටිලා තිබුණ තැන සොයා ගන්නට ඔහු සමත් වුණා .හොප්කින්ස් ටිකක් ඈතින් ඉදගෙන ඉතාමත් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා .ඒ ළඟ තිබුණා සුරුට්ටුවක බාගයක් විතර කොටසක් .ඒක හෝම්ස් ඔහුගේ කබායෙ සාක්කුවේ දාගෙන තවදුරටත් පරීක්ෂා කළා .නමුත් කිසිම ප්රතිචාරයක් පෙන්නුවේ නැහැ .ඔහුගේ තීක්ෂණ ඇස් මොහොතකට දිලිසෙන බවත් යම්කිසි දෙයක් හොදින් නිරීක්ෂණය කරන්න බිමට නැඹුරු වීමත් මා දුටුවා. එතැන තිබුණේ දුර්වර්ණ පැරණි පෑනක්. ඔහු ඒක ඇහිදලා ගත්තේ මැණිකක් ඇහිදිනවා වගේ . හොප්කින්ස් ඉක්මන් ගමනින් එතැනට ආවා.
"මොනවාද හෝම්ස් මහත්මය ඔබට හම්බවුනේ " , ඔහු ඇහුවා.
" මට එච්චරම ලොකු කිසිවක් ලැබුණේ නැහැ .ඔබට නොදන්වා කිසිවක් සගවන්නෙත් නැහැ . හැබැයි තවත් මේ අවට ඇවිදිමින් මෙහි සඳහන් වෙලා තියෙන්න පුළුවන් යමක් ඇත්නම් ඒවා තවදුරටත් මැකීයන්නට පුළුවන් නිසා තමා සියල්ලන්ම මගහැර මම වොට්සන් එක්ක මෙතැන පරීක්ෂා කරන්න ආවේ. මෙන්න මේ සුරුට්ටු කොටයත් පෑනත් හම්බවුණා .ඔබට පුළුවන් පරීක්ෂා කරන්න ."
හෝම්ස් ඔහුට ඒවා දුන්නා. කොපමණ පරීක්ෂා කළත් වෙනත් කිසිවක් සොයා ගන්නට පුළුවන් වුනේ නැහැ.
" හොප්කින්ස් , ඔබේ පරීක්ෂා කිරීම අවසන් කරලා මට ඔය දෙකම ආපසු දෙන්න ."
හෝම්ස් කිව්වා .
" ඒවා එච්චරම වැදගත් දේවල් නොවෙයි , මම ඒවා හොදින් බැලුවා. මේවායින් සුරුට්ටු කොටය නම් බැසිල් බීලා විසිකරන්න ඇති . පෑනත් කාගෙද කියලා කියන්න බැහැ . ඒවා ඕනෑ නම් ඔබට ගෙනියන්න පුළුවන් ".
හොප්කින්ස් ඒ දෙකම හෝම්ස් අතට දුන්නා .
එතැනින් ආපසු එද්දී අපිට බැසිල් සමඟ කතා කරමින් සිටින පෙපිනෝ දකින්නට ලැබුණා .හෝම්ස් ඔවුන් දෙදෙනා ළඟට ගිහින් ඇහුවෙ පෑන කාගෙද කියලා .නමුත් ඔවුන් කිව්වේ ඒක ඔවුන්ගේ නොවෙයි කියලා .
අපි එතැනින් පිටත් වෙලා බේකර් වීදියේ අපේ නවාතැන වෙත ළගාවෙන්නට පැයක් විතර ගතවුනා. ගමනේදී හෝම්ස් මට කිව්වේ ආගන්තුක කෙනෙක් බැසිල් වැටී සිටි තැන ගැවසී ඇති බවත් ඔහු අඩි පහමාරකට වඩා උස, බර රාත්තල් 140 ක් පමණ පුද්ගලයෙක් බවත් . නමුත් ඔහුගේ අඩි සළකුණු පැහැදිලිව සටහන් නොවීම අපිට ලොකු පසුබෑමක් බවත් පමණයි .
" වොට්සන් , මේ පෑන ගැන ඔබේ අදහස් කියන්න , මට ඒවා වැදගත් වෙන්න පුළුවන් "
හෝම්ස් පෑන මගේ අතට දුන්නා .
මම උත්සාහ කළේ හෝම්ස් භාවිතා කරන ක්රම වේද යොදාගෙන ඉතාමත් හොඳ විස්තරයක් දෙන්න . නමුත් මට පුළුවන් වුනේ නැහැ කිසිම විශේෂයක් දකින්නට .ඒක සාමාන්යයෙන් ඕනෑ කෙනෙක් පාවිච්චි කරන්න ඉඩ තියෙන තීන්ත පෑනක් . මම ඒක ආපසු දුන්නේ ,
"හෝම්ස් ,මට නම් මේකෙන් කියන්න පුළුවන් වෙන්නෙ ටිකක් මිල අධික පෑනක් කියලා විතරයි " කියලා .
" වොට්සන් , මම ඕක ගමන් කරද්දී පරීක්ෂා කළා , ඉතිං මට කියන්න පුළුවන් ,
"මේ පෑන භාවිතා කරලා තියෙන්නෙ , ධනවත් , ක්රමානුකූලව වැඩ කරන්න පුරුදු ,වමතින් ලියන්න හුරු කෙනෙක්. ඔහු ඉතාමත් පරිස්සමෙන් මේ පෑන අවුරුදු ගනනාවක් පාවිච්චි කරලා තියෙනවා. බොහෝවිට ඔහුට අවුරුදු 50 - 60 ක් අතර වයසැති කෙනෙක් "
හෝම්ස් කිව්වා .

"ඔබ කොහොමද එච්චර විස්තර කියන්නේ මේ පෑනෙන් ?"
මම හෝම්ස් ගෙන් ඇහුවා.
" වොට්සන් ,මම විජ්ජා කාරයෙක් නොවෙයි , නිරීක්ෂණ මගින් නිගමන වලටත් ඒවා ඇසුරෙන් රහස් අනාවරණය කරන්නත් හුරුපුරුදු කෙනෙක් . මම ඔබට කිව්වා ආගන්තුක කෙනෙක් බැසිල් අසළ ගැවසුණු බවත් ඔහු අඩි පහමාරකට වඩා උස රාත්තල් 140 ක් පමණ බර කෙනෙක් කියලා .කෙනෙක් ගේ පා සටහන අනුව බොහෝවිට ඔහුගේ උස තීරණය කරන්න පුළුවන් , කලාතුරකින් තමා ඒක වෙනස්වෙන්නෙ . මට පුළුවන් වුණා කෙනෙක්ගේ පා සටහනක් මගේ පා සටහන එක්ක සංසන්දනය කරන්න .ඒ අනුව තමා ඔහුගේ උස තීරණය කළේ . ඒ පා සටහන එරිලා තිබුණ ගැඹුරට අනුව බර අනුමාන කරන්න පුළුවන් . ඊළඟට පෑන ගැන කතා කරන්න ඕනෑ . මේ පෑන පාකර් 51 වර්ගයේ එකක් .සාමාන්යයෙන් මිල අධික පෑනක් . බොහොම පරිස්සමෙන් භාවිතා කරලා තියෙනවා .අවුරුදු 30 ක් පමණ පැරණි එකක් .පාවිච්චි කරලා තියෙන තීන්ත දම් පාටට හුරු නිල් තීන්ත . බොහෝවිට මේ තීන්ත භාවිතා කරන්නේ උසස් සමාජයේ කටයුතු කරන අය .පෑනේ තලය ගෙවිලා තියෙන්නෙ දකුණු පැත්ත. එහෙම නම් ලියලා තියෙන්නෙ වම් අතින් වෙන්න ඕනෑ . අවුරුදු 30 ක් පාකර් 51 පෑනක් භාවිතා කරනවා නම් ඔහු බොහෝවිට අවුරුදු 50- 60 අතර වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩියි නේද ?"
හෝම්ස් ඇහුවා .
" ඔබ කිව්වේ පැහැදිලි පාසටහනක් තිබුණේ නැහැ කියලා නේද "
" වොට්සන් , පැහැදිලි නම් නැහැ තමා , තණකොළ වැවුණු තැනක තියෙන්නෙ පැහැදිලිසටහනක් නොවෙයි වුණත් සාමාන්යයෙන් දිග පළල බලන්න පුළුවන් ."
" හරි හරි ,ඊළඟට මොකක්ද අපිට කරන්න පුළුවන් හෝම්ස් ?"
මම ඇහුවා .
" මම දැන් බැහර යන්න ඕනෑ . "
හෝම්ස් ඔහුගේ පෞද්ගලික කාමරයට ගියා .
මට ටිකක් වෙහෙස තිබුණ නිසා මම නාගන්නට නාන කාමරයට ගිහින් හොඳින් නාගෙන එද්දී හෝම්ස් හිටියෙ නැහැ .
මම පුවත්පත් කියවමින් පැය හතරක් විතර හිටියා , නමුත් නිතරම මගේ සිතට නැගුණේ කෞතුකාගාරයේ අභිරහස ගැන . එහෙම ඉන්න අතර හොප්කින්ස් මහත්මය ආවේ හදිසියේ වගෙයි .
"වොට්සන් මහත්මය , කෝ හෝම්ස් මහත්මයා නැද්ද ? "
ඔහු ඇසුවා .
" නැහැ , හොප්කින්ස් මහත්මය ,ඔහු කොහේදෝ යන්න ඕනෑ කියලා ගිහින් දැන් වරුවක් විතර වෙනවා .කිසිම විස්තරයක් කියන්න දන්නේ නැහැ , මොකක්ද හොරකම ගැන අලුත්ම තත්ත්වය ?"
මම ඇහුවා .
"මට ඉතිං හෝම්ස් මහත්මයට වගේ නිරීක්ෂණ ,නිගමන වලට යොමුවෙලා විතරක් රාජකාරි කරන්න බැහැනේ .මම නිතරම උත්සාහ කරන්නේ ප්රායෝගික වැඩක් කරලා විසදුමක් හොයාගන්න. මට කරන්න තිබුණේ එකම එක දෙයක් විතරයි .මම පෙපිනෝ අත් අඩංගුවට ගත්තේ මිනිහා තමා මේකට අනිවාර්යයෙන් සම්බන්ධයක් තියෙන්නෙ පුළුවන් එකම මිනිහා නිසා ."
" පෙපිනෝ ඇත්තටම සැක කරන්න පුළුවන්ද ?"
" සැක කරන්න වෙනත් කිසිම කෙනෙක් නැහැ ,හැබැයි ,හෝම්ස් මහත්මයට වගේ නොවෙයි .මට පොලිසියෙ ඉහළින්ම තියෙනවා බලපෑම් .ඉක්මනින් කෙනෙක් අත් අඩංගුවට නොගැනීම ගැන පත්තර ඔක්කොම සිරස්තල දාලා .ඉතිං කරන්න තියෙන්නෙ වැඩියෙන්ම සැකය යොමු වෙන කෙනෙක් ප්රශ්න කරන්න අත් අඩංගුවට ගැනීම විතරයි .මම හෝම්ස් මහත්මය හමුවෙන්න ආවේ මොකක්ද ඔහුගේ අදහස කියලා දැනගන්නට ."
පහළ තට්ටුවේ දොර සීනුව නාද වුනේ ඒ අතරේ.
අපිට ඇහුනේ හඩ්සන් නෝනගෙ කට හඩ.
" මම දැන් ඔහෙට කිව්වා හෝම්ස් මහත්මය බැහැරක ගිහින් කියලා , ගිහින් පස්සෙ එන්න "
"එහෙම කියන්න එපා නෝනා ,මට හෝම්ස් මහත්මය ඉක්මනින්ම හමුවෙන්න ඕනෑ .අඩුගානේ වොට්සන් මහත්මය වත් නැද්ද ?"
" වොට්සන් මහත්මය නම් ඉන්නවා .එහෙම නම් ගිහින් හමුවෙන්න "
හඩ්සන් නෝන කියනවා ඇහුනා .මම ගොඩක් පුදුම වුණා මාව හමුවෙන්න වුවමනා කියලා කිව්වාම . විනාඩි තුනක් යද්දී උඩුමහලේ අපේ කාමරයට ආවේ රස්තියාදු කාරයෙක් වගේ අවුරුදු 45 ක් විතර පෙනුමක් තියෙන කෙනෙක් .
" සුබ දවසක් මහත්වරුණි , වොට්සන් මහත්මය කොයි එක්කෙනාද ? "
ඔහු ඇහුවා .
මම ඉදිරියට ගිහින් ඔහුට අත දීලා කිව්වා ,
" මම තමා වොට්සන් , මෙහෙන් වාඩිවෙලා කියන්න මොකක්ද ඔබට මා හමුවෙන්න හේතුව කියලා " . මම කිව්වා .
" ඔබට පුළුවන් වෙයි නේද මට ඉක්මනින්ම හෝම්ස් මහත්මය මුනගැහෙන්න විදිහක් කියන්න , අඩුගානේ ටෙලිෆෝන් කරන්න ඉක්මනින්ම එන්න කියලා "
" එහෙම කරන්න බැහැ මහත්මය . කාමරේ ටෙලිෆෝන් තිබුණාට හෝම්ස් මහත්මය ළඟ නැහැනෙ, මොකක් ගැනද ඔබට ඔහුව හමුවෙන්න වුවමනාව ?. හැබැයි මේ දවස්වල එතුමා බොහොම කාර්යබහුල කටයුත්තක පරීක්ෂණයක් කරනවා .ඔබේ ගැටලුව ගැන හොයන්න වෙලාවක් නැතිවෙයි ".
මම කිව්වා .
" මට මෙහෙම කතා කර කර ඉන්න වෙලාවක් නැහැ .මම ආවේ හෝම්ස් මහත්මය හමුවෙලා තොරතුරු ගොඩක් කියන්න .විනාඩි 10 ක් ඇතුලත එතුමා හමුනොවුනොත් මම යනවා යන්න . ඒවා ඔටුන්නක් සම්බන්ධ කරුණු "
හොප්කින්ස් ඉදිරියට ආවේ හරියට දරුනු සුනඛයෙක් අමුත්තෙක් ඉදිරියට කඩාපනිනවා වගෙයි .
" එහෙම නම් ,මම ඔහේව තමා හොය හොයා හිටියෙ .දැන් කියනවා මොනවාද ඔහේ ඔටුන්න ගැන දන්නේ කියලා "

                                 Auther - Solaman perera

Comments

Popular posts from this blog