හෝම්ස් සමඟ මම දහවල් ආහාරයට සූදානම් වෙමින් සිටියදී අපගේ නවාතැනෙහි තිබෙන දුරකථනය නාද වුණා . හෝම්ස් වහාම නැගිටලා ගිහින් ඇමතුමට පිළිතුරු දුන්නා .
" ඔව්, හෝම්ස් කතා කරන්නේ , සුබ දවසක් ඔබට . ඉතාමත් කෙටියෙන් කියන්න මොකක්ද ඔබේ ඇමතුමට හේතුව ".
අපැහැදිලි කටහඬක් ඇසුනත් මට පැහැදිලිව ඇමතුම කුමක්දැයි වටහාගත නොහැකි වුණා .
" ඔව්, ඔබට පුළුවන් මා හමුවෙන්න. පැයක් ඇතුලත 221 B බේකර් වීදියට එන්න ."
හෝම්ස් රිසීවරය ආපසු තබා නැවත මා සමඟ ආහාර ගැනීමට ආවේ ,
":වොට්සන් , ඉතාමත් භයානක සිදුවීමක් පිළිබඳව ගවේෂණයක් සදහා යන්න සිදුවීමට බොහෝවිට ඉඩ තියෙනවා .ඉක්මනින් කෑම ගන්න එක හොඳයි "
" මට කිසිවක් ඇහුනේ නැහැ ,හෝම්ස් .ඔබේ වචන විතරයි මට ඇහුනේ . මොකක්ද සිද්ද වෙලා තියෙන්නෙ ?"
" වොට්සන් ,තදින් බියට පත්වූ අවුරුදු 18 ක් විතර තරුණයෙක් කතා කළේ . ඔහුට කියන්න පුළුවන් වුනේ , හෝම්ස්මහත්මයා , හෝම්ස්මහත්මයා , කියලා විතරයි . වෙනත් කිසිම වචනයක් කියන්න ඔහුට නොහැකි වුණා ."
" ඉතිං කොහොමද ඔබ කියන්නේ ඉතාමත් භයානක සිදුවීමක් බව ?"
" ඔහුගේ හඩ !! එහි තිබුණ භීතිය. ඔහුගේ වයස අවුරුදු 17 ක් හෝ 18 ක් විය යුතුයි . තවමත් නවයොවුන් කටහඩ තියෙනවා . ඊට වඩා වයස කෙනෙක් නම් ටෙලිෆෝනයෙන් ඇමතීමට නොවෙයි උත්සාහ කරන්නේ .කෙළින්ම ඇවිල්ලා කතා කරන්න ."
හෝම්ස් හොදින් ආහාර ගත්තේ ළඟ තියෙන කාර්යබහුල කටයුත්තක නියැලීමට බවයි පෙනෙන්න තිබුණේ .මම සුපුරුදු විදියට ආහාර ගත්තා . අපිට අතුරුපස වශයෙන් හඩ්සන් නෝනගෙ මිහිරි පළතුරු සලාදයක් රස විදින්නට ලැබුණා .
" ස්පෙගෙට්ටි බොලොග්නායිස්, බීෆ් ස්ටේක් , ෆ්‍රෙන්ච් ෆ්‍රයීස් එක්ක ෆෲට් සැලඩ් හදන්න හඩ්සන් නෝන අද බොහොම සතුටින් ඉන්න දවසක් වෙන්න ඕනෑ "
හෝම්ස් කිව්වා.
" හෝම්ස් ,ඔබට අමතක වුණත් හඩ්සන් නෝනගෙ මතකය ඉතාමත් හොඳයි .අදට අපි මේනවාතැනට ඇවිල්ලා අවුරුදු 10 ක් වෙනවා . ඒක සමරන්න තමා විශේෂයෙන්ම ඕවා හදලා තියෙන්නෙ ."
"අවුරුදු 10 ක් ? මට ඒවගේ දේවල් එච්චරම මතක නැහැ වොට්සන් . ඒවා මතක තියාගන්න මම උත්සාහ කරන්නේත් නැහැ .අනවශ්‍ය මතක තැන්පත් වීමෙන් අවශ්‍ය දේවල් මතක් කරන්න අපහසු වෙනවා "
එහෙම කියද්දී අපේ ඉදිරි දොරේ සීනුව නාද වුණා. මොහොතකින් අපිට ඇසුනේ හඩ්සන් නෝන අමුත්තෙක් එක්ක කතා කරන හඩ .ඊළඟට කඩිසර ලෙස තරප්පු පෙළ නගින සපත්තු හඩ ඇසුනා.
හෝම්ස් අසුනින් නැගිට්ටෙ අමුත්තා පිළිගන්න .ඉදිරියට දිගුකළ සුරතින් හෝම්ස් අවුරුදු 17 ක පමණ උස අඩි 5 අගල් 10 ක් පමණ කඩවසම් තරුණයෙකු පිළිගත්තා .
""" වාඩිවෙන්න මහත්මයා , දුම්රියෙන් ගමන් කිරීම නිසා ඔබට වෙහෙස ඇති. මම කියන්නේ ඔබ ඇවිල්ලා තියෙන්නෙ චාරිංක්‍රොස් දුම් රිය පොළට කිට්ටු ගම්බද නිවසක ඉදලා "
" මම දන්නේ නැහැ ,ඔබ කොහොමද මාව දන්නේ කියලා . නමුත් මම ඉන්නෙ චාරිංක්‍රොස් දුම් රියපොලේ ඉදලා දම්වැල් දෙකක දුරින් . අපේ පැරණි මැදුරට තමා , 'වින්ඩ්සර් හෝල් ' කියන්නේ .
" මම ඔබව හදුනන්නෙත් නැහැ .නමුත් ඔබේ අතේ තියෙනවා චාරිංක්‍රොස් දුම් රියපොලේ මුද්‍රාව සහිත ලන්ඩන් නිව්ස්' පුවත්පතක්.
ඔබේ සපත්තු අඩියෙ තියෙනවා තෙත දුඹුරු පාට මැටි ගෑවිලා. මම තවදුරටත් දකිනවා ඔබේ වෙහෙසීමේ ලකුණු .අවුරුදු 17 ක කොල්ලෙක් වෙහෙසිලා නම් අනිවාර්යයෙන් ඔහු පා ගමනින් දම්වැල් දෙකක් තුනක් ඇවිදලා තියෙන්න ඕනෑ .නැත්නම් ක්‍රීඩා පිටියට ගිහින් ඇවිල්ලා වෙන්න ඕනෑ . නමුත් මම දන්නවා ඔබ ක්‍රීඩා කරන්න තරම් අද දවස ප්‍රීතිමත් නොවුන බව . ඔබේ දහවල් ආහාරය ගත්තේ නැහැ නේද ? අපිට පුළුවන් කෑම සූදානම් නිසා කාලා ඉවර වෙලා ඔබේ ගැටලුව ගැන අහන්නට "
" ඔබ බොහොම කරුණාවන්ත කෙනෙක් හෝම්ස්මහත්මයා . නමුත් මට දැන් නම් කෑම ගන්න බැහැ. ඊයේ රාත්‍රීයේ මම උසස් පාසල් නිවාඩුව නිසා මගේ හොඳම යාලුවා එක්ක ඔහුගේ නිවසට ගිහින් එහි නතර වුණා .උදේ මගේ යාලුවා මයිකල් එක්ක ටිකක් වෙලා ඉදලා ගෙදර ආවේ 10.30 ට විතර. මගේ අම්මා නැති වුනේ මට අවුරුදු 10 ක් වෙද්දී .ගෙදර ඉන්නෙ තාත්තා සමඟ මමත් සේවකයන් තුන් දෙනෙක් පමණයි . වතුපිටිවල වැඩ කරන්නේ පිරිමින් දෙන්නෙක් . ගෘහ පාලිකාව ඔලිවියා බෙත් උදේ ඇවිල්ලා සවස රෑ කෑම උයා තියලා ආපසු යනවා . මම එද්දී තාත්තා සිහි මුර්ජ්ජාවක් නිසා වයිද්‍යවරයෙක් පැමිණ තිබුණා .සේවකයන් දෙදෙනා වන හෑන්ස් සහ ඩැනියල් උදේ තාත්තා නැති නිසා සොයද්දී දැකලා තියෙනවා ජනේලය තුළින් තාත්තා කාමරය තුළ වැටී ඉන්නවා. ජනේලයක් තුළින්ම ඔවුන් ඇතුලට ගිහින් තමා තාත්තා සිහි නැතිව ඉන්න බව දැකලා තියෙන්නෙ .ඉක්මනින්ම වයිද්‍යවරයෙක් කැදවාගෙන ඇවිල්ලා තියෙනවා ."
" බාදා කිරීම ගැන සමාවෙන්න , මට කියන්න ඒ වෙලාවෙ බෙත් ඇවිල්ලා හිටියාද ? නැද්ද ? කියලා "
" හෝම්ස්මහත්මයා , බෙත් ඇවිල්ලා තියෙනවා හෑන්ස් වයිද්‍යවරයා කැදවාගෙන එන්න ගිය වෙලාවෙ . ඇය තදින් කම්පනය වෙලා ක්ලාන්ත වෙලා තියෙන්නෙ . ඊට පස්සෙ ඇයව ඇගේ නිවසට යවලා බව මට දැනගන්නට ලැබුණා ."
" වයිද්‍යවරයා දැක්වූ අදහස් කොහොමද ? "
" වයිද්‍යවරයා කියන්නේ යම්කිසි දෙයක් දැකීමෙන් භීතියට පත්වීම නිසා සිහි මුර්ජ්ජාවට පත්වූ බවට සැක කරන්න පුළුවන් කියලා. දැන් නම් සිහි ඇවිල්ලා. නමුත් කියන්නේ පැටලිලි සහිත දේවල් පමණයි .හොඳ සිහි කල්පනාවක් එන්න දවසක් ගතවෙන්නට පුළුවන් බවයි දොස්තර මහත්මය කියන්නේ ."
" ඔබට තිබුණේ ඔබේ පියා රෝහල් ගත කරන්න ,සහ සැකයක් ඇත්නම් පොලිසියට දැනුම්දෙන්න. නමුත් ඔබ ඇවිල්ලා පුද්ගලික රහස්පරීක්ෂකවරයෙක් හමුවෙන්න .ඒක ඔබ පැහැදිලි කරන්නේ කොහොමද ?"
" හෝම්ස්මහත්මයා , ඔබ හොදින් දන්නවා පොලිසියට ගියොත් වෙන්නෙ මොකක්ද කියලා . අපෙන් අහවි කවුද සැක ? කුමක් නිසාද ඔවුන් සැක කරන්නේ ? පවුලේ ආරාවුල්තියෙනවාද ? වගේ ප්‍රශ්න රොත්තක් . හැබැයි අන්තිමේ කිසිමප්‍රතිඵලයක් නැතිව මාසයක් දෙකක් විතර යද්දී අමතක වෙලා යාවි ."
" ඔබ කොහොමද මාවම තෝරාගත්තේ ?"
" ඔබතුමා දන්නේ නැහැ ,එංගලන්තයේ කවුරුත් දන්නා දේවල් . නමුත් ඔබතුමා දන්නවා එංගලන්තයේ කවුරුත් නොදන්නා දේවල් . රාජකීයන් පවා ඔවුන්ගේ ගැටලු ගෙනෙන්නේ ඔබතුමා ළඟට .ඉතිං මම පැමිණීමේ වැරැද්දක් නැහැ නේද ?"
" නමුත් තවමත් මට පුදුම තාත්තා සිහි මුර්ජ්ජාවීම සිදුවූ වහාම ඔබ දන්නා දක්ෂතම පුද්ගලික රහස්පරීක්ෂකවරයා සොයාගෙන ඒමයි. මේක බොහෝවිට සාමාන්‍යයෙන් සිදුවීමට ඉඩ තියෙන අපස්මාරය වගේ රෝගයක් වෙන්න පුළුවන් නේද ?"
" හෝම්ස් මහත්මය , මට මගේ මුළු ලෝකයම තමා මගේ තාත්තා .වෙනත් කිසිම කෙනෙක් මට එතරම්ම වටින්නෙත් නැහැ .මගේ තාත්තා හොඳ ශක්තිමත් නිර්භීත එඩිතර කෙනෙක් .තාමත් අවුරුදු 43 ක් විතරයි වයස .මා සමඟ ඇවිල්ලා ඔබේ දරුවෙකුට වගේ මට පිහිට වෙන්න .ඔබට අවශ්‍ය ඕනෑම මුදලක් ගෙවන්නට මට පුළුවන් ."
" ඔබ තවමත් ඔබේ පියාගේ නම මට කිව්වේ නැහැ , මොකක්ද ඔහුගේ නම ?"
" එම්මානුවෙල් වින්ඩ්සර් කියන්නේ මගේ තාත්තා තමා ".
" දෙයියෝ සාක්කි !! "
හෝම්ස් එක්වරම කිව්වා .
ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ කථානායක තුමා ?"
" ඔවු, එතුමා තමා කථානායක තුමා ."
" ඔබේ හැසිරීම මට ඇත්තටම හිතාගන්න ටිකක් අපහසු වෙනවා දරුවෝ. එච්චරම වැදගත් නිලයක් දරන්නෙකුගේ පුතෙක් පුද්ගලික රථයක් නැතිව පයින් ඇවිල්ලා දුම් රියකින් ගමන් කරලා දුම් රියපොලේ සිට මේ දක්වා නැවතත් පයින් ඒම ඇත්තටම අහම්බයක් ".
" තාත්තා මට උපදෙස් ලබා දෙන්නේ ,කිසිවිටෙකත් පියාගේ නිලය ,බලය සාමාන්‍යය ජීවිතය තුළ භාවිතා කරන්න එපා , හැකියාව ඇති හැමවිටෙකම සරල අවංක මනුස්සයෙක් විදියට ඉන්න ඕනෑ කියලා .ජනතාව සතු දේපළ කිසිම විටෙකත් පුද්ගලික ප්‍රයෝජනයට යොදා නොගන්න තමා නිතරම උපදෙස් දුන්නේ ."
" විශිෂ්ඨයි ,හොඳ මහත්මයෙකුගේ හොඳ දරුවෙක් හැටියට ඔබට මගේ සේවය ලැබෙනවා නොමිලේ , එහෙම නම් අපිට පුළුවන් ඉක්මනින්ම වින්ඩ්සර් හෝල් වෙත ළගාවෙන්නට ."
"වොට්සන් , ඉක්මනින් අශ්ව කරත්තයක් ගෙන්වන්න ."
මම පහළට බැස්සෙ බිලීව ඒ සදහා යවන්න .බිලී දිව්වේ ඉක්මනින් අශ්ව කරත්තය අරගෙන එන්න
අපගේඅනුග්‍රාහකයා සමඟ හෝම්ස් සහ මම වින්ඩ්සර් හෝල් වෙත යාමට පිටත් වුණා . හෝම්ස් නම් හිටියෙ කිසිම උනන්දුවක් නැතිව .අවට පරිසරය නරඹමින් විටින් විට යම්කිසි අදහසක් පළකරනවා හැරෙන්නට ඔහුගෙන් අපේ ගමණට අදාළව කිසිවක් අසන්නට ලැබුණේ නැහැ . නමුත් නොඉවසිල්ලෙන් වින්ඩ්සර් තරුණයා මගෙන් නොඑකුත් ප්‍රශ්න ඇසුවා. මම ඔහුට පැවසුවේ කිසියම් බිය මුසු සිදුවීමක් ඇත්නම් හෝම්ස් එය නිරාවරණය කරගන්නට සමත් වනු ඇතිබවයි. පැයක් විතර යද්දී අපිට චාරිංක්‍රොස් දුම් රිය පොළ පසුකරමින් ගම්බද මැටි පාරකට හැරෙන්නට සිදුවුණා. සැතපුම් කාලක් පමණ ඒ මාර්ගයේ ඉදිරියට යනවිට පැරණි තාප්පයකින් වටවුනු විශාල මන්දිරයක් දකින්නට ලැබුණා . එහි ගේට්ටුව ඉතාමත් පැරණි එකක් වූ අතර එහි මුදුනේ සිංහ හිසක ලාංචනය තිබුණා .එය තමන්ගේ පාරම්පරික ලාංචනය බව වින්ඩ්සර් මහත්මයා අපිට පැවසුවා . අප නිවසට ඇතුල්වෙද්දී ආලින්දයේ සිටියේ අවුරුදු 30 ක් පමණ වයසැති කෙට්ටු ,උස තරුණයෙක්. ඔහුගේ නිරෝගිමත් සිරුර මට සිහිපත් කළේ හොඳ ශක්තිමත් මලල ක්‍රීඩකයෙක් . පැහැපත් ප්‍රියමනාප සිනාවකින් ඔහු අපිට සංග්‍රහ කළා .
" හෑන්ස් අයියේ, තාත්තාට සනීපද ?"
අපේ අනුග්‍රාහකයා ඇහුවා .
" දැන්නම් ටිකක් සනීපයි පොඩි හාමු මහත්මයා."
ඔහු උත්තර දුන්නා .
" දොස්තර මහත්මය බෙහෙත් දීලා තියෙන්නෙ .ආයෙමත් පැය හතරක් ගිහින් දෙන්න පෙති දෙකක් තියෙනවා .හවසට ආයෙමත් දොස්තර මහත්මය එනවා කිව්වා "
ඔහු නැවත ඊට එකතු කළා .
අපි නිවසේ ඇතුලු කාමරයකට ගියේ අපේ තරුණ වින්ඩ්සර් මහතා සමඟ. එහිදී අපට දකින්නට ලැබුණා ඇදක් මත වැතිරී සිටින කථානායක තුමා සහ ඔහුගේ හිස අසළින් අසුන් ගෙන සිටි අවුරුදු 55ක් පමණ වයසැති අව්වට අවපැහැයට හැරුණු ශක්තිමත් උස මහත හිසේ මුදුනේ තට්ටය පෑදුණු කම්කරුවෙක්. අපිට ආචාර කරමින් ඔහු නැගිට්ටා.
" දැන් නම් ටිකක් සනීප වෙලා තියෙන්නෙ .නින්ද ගිහින් පැය බාගයක් විතර ඇති .නමුත් මම ළඟටම වෙලා හිටියෙ හදිසියේ ඇහැරුනොත් කියලා ."
ඔහු ප්‍රකාශ කළා .
හෝම්ස් නිහඩවම සිටියත් ඔහුගේ පූර්ණ අවධානය අවට සියල්ල නිරීක්ෂණය සදහා යොමු වී තිබුණා. විනාඩි පහකින් පමණ හෝම්ස් ,
" මේ කාමරය මෙතුමාගේ නිදන කාමරය ද ?
යනුවෙන් ප්‍රශ්නකළා.
" ඔවු, මේ එතුමාගේ නිදන කාමරය තමා . "
ක්ලිෆඩ් උත්තර දුන්නා .
හෝම්ස් ඉතාමත් හොදින් අවට නිරීක්ෂණය කළේ ඔහුගේ අවදානය යොමු කළයුතු කිසිවක් ඇත්දැයි සොයමින් බව මට පැහැදිලිවම දකින්නට ලැබුණා . ඊළඟට හෝම්ස් කිව්වේ නිදාගන්නා අපේ රෝගියාඅපහසුතාවට පත් නොකර ඉවතට යාම සුදුසු බවයි .එළියට ඇවිත් ආලින්දයේ අසුන් ගත් අපි සෙමින් කතා කරමින් උදේ සිදුවූ සියල්ල සේවකයන් වෙතින් විමසුවා. හෝම්ස් මට නැවත යෝජනා කළේ මා පමණක් ගොස් රෝගී තත්ත්වය පරීක්ෂා කරලා එන්න ඕනෑ බවයි .
මම ඉතාමත් නිහඩවම ගොස් කථානායක වරයාගේ නාඩි වැටීම ,සිරුරේ උෂ්ණත්වය ,ආදිය හොදින් පරීක්ෂා කළා .සාමාන්‍යය තත්ත්වයට පැමිණි රුධිර සංසරණය සහ අනෙකුත් ශාරීරික තත්ත්වයන් හොඳ මට්ටමක පවතින බව මා නිරීක්ෂණය කළා .
" හෝම්ස් , ඇත්තටම දැන් නම් බොහෝවිට සනිප වෙලා ".
මම මගේ අදහස කිව්වා .
හෝම්ස් නැගිටලා කතා කළේ හෑන්ස්ට.
" හෑන්ස් මහත්මය ,මට ඔබ සමඟ සාකච්ඡා කරන්න තියෙනවා , කරුණාකරල ඉතාමත් සුළු සිදුවීමක් පවා මට විස්තර කරලා කියන්න . ඔබ උදේ දුටු සියල්ල පැහැදිලිව කියන්න ."
" හෝම්ස් මහත්මයා , මම සාමාන්‍යයෙන් උදේ 7.00 වෙද්දී මගේ සියලුම පෞද්ගලික කටයුතු ඉවර වෙලා එන්නේ මන්දිරයේ මිදුල අතුගාන්නත් ඊට පස්සෙ නිවසට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනෙන්න යන්නත් . ඉතිං අද උදේ මම මිදුල අතුගාද්දී මන්දිරයේ ඉදිරි දොර වහලා තිබුණේ .ඒක සාමාන්‍යයෙන් නම් ඒ වෙලාවට ඇරලා තියෙනවා . නමුත් අද හාමු මහත්මය ප්‍රමාද වෙලා තිබුණා .අපිට නිදාගන්න තියෙන්නෙ පිටුපස පැත්තේ කාමර දෙකක් .මම අතුගෑමෙන් පස්සෙ ඇවිල්ලා බැලුවා හාමු මහත්මය ඇහැරිලා ඉන්නවද කියලා . නමුත් කිසිම සද්දයක් ඇහුනේ නැහැ .ඊළඟට මම ගිහින් ජෝර්ජ් එක්ක කිව්වා,
," ජෝර්ජ් අයියේ තාමත් හාමු මහත්මය නිදි. මොකද කරන්නේ ?
" එහෙම නම් දොරට තට්ටු කරලා බලන්න .සීනුව ගහන්න එපා "
ඉතිං මම ගිහින් දොරට තට්ටු කලා. ඒත් සද්දයක් නැහැ .මම එතැන ඉදලා හයියෙන් කතා කරලා ජෝර්ජ් අයියා ගෙන්වා ගෙන දෙන්නාම ජනේලයෙන් බැලුවා .බලද්දී අපිට ජනෙල් වීදුරුවෙන් පෙනුනා හාමු මහත්මය වැටිලා ඉන්නවා. වෙනත් කරන්න දෙයක් නැති නිසා අපිට සිද්ද වුණා වීදුරුවක් බිදලා ජනේලය අරින්න .ඊට පස්සෙ මම ඇතුලට රිංගුවා. බලද්දී සිරුරේ උණුසුම තියෙන බවත් සෙමින් නාඩි වැටීම සිද්ද වෙන බවත් පෙනුනා .ඉක්මනින් දොර ඇරලා ජෝර්ජ් අයියාට බාර දීලා මම ඉක්මනින්ම ගිහින් දොස්තර මහත්මය එක්කගෙන ආවා ."
" මට කියන්න ඔබට දකින්නට ලැබුණ විශේෂ කිසියම් දෙයක් තියෙනවා නම් "
" මම දැක්කෙ මොනවා හරි දේකට බයවෙලා ඉන්න කෙනෙක් වගේ එක පාරටම , ඊට වඩා කියන්න තරම් දෙයක් නැහැමහත්මයා "
" හොඳයි ,දොස්තර මහත්මය ඇවිල්ලා සිහිය ලැබුණාට පස්සෙ මොනවාද වුනේ ?"
" යක්ෂයා, යක්ෂයා කියලා විතරයි කිව්වේ , තවත් යම්කිසි දෙයක් කිව්වා .නමුත් පැහැදිලි වචන නොවෙයි ."
" එහෙම නම් හෑන්ස් ,බොහොම ස්තුතියි ඔබේ විස්තර ගැන. හොදින් සැලකිලිමත් වෙමින් රෝගියා බලාගන්න ".
හෝම්ස් ඊට පස්සෙ මා සමඟ නිවස වටේටම ඉතාමත් සෙමින් පරීක්ෂාකාරීව ගියේ බිද දැමූ ජනේලය පවා පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි .නමුත් මට දකින්නට ලැබුණේ ඔහුගේ අවදානය තදින් යොමුවූ කිසිවක් හමුනොවූ බවයි . පිටුපස දොර අසළ තිබූ අඩි සටහන් පිළිබඳව හොදින් බැලුවත් කිසිවක් පැවසුවේ නැහැ .
ඊට පසුව හෝම්ස් හෑන්ස්ට කතා කළා ,
" හෑන්ස් ,අපිට ඉනිමගක් උවමනා වෙනවා .පුළුවන්වෙයිද එකක් සොයා ගන්නට "
" පුළුවන් ,ඉන්න මම ගෙනෙන්නම්"
ඔහු ඉතාමත් ඉක්මනින් ගබඩාවක් තුළින් ඉනිමගක් රැගෙන ආවා .
හෝම්ස් ඉනිමගෙන් වහලයට නැග්ගා .මම ඔහුගේ පසුපසින් ඉහළට නැගුනා. දුම් කවුලු සහ අනෙකුත් හැමතැනම පරීක්ෂා කළත් කිසිම විශේෂ යමක් සොයාගැනීමට නොහැකි වුණා .පැයක් පමණ සෝදිසි කළත් හෝම්ස්ට සතුටුදායක කිසිවක් දකින්නට ලැබුණේ නැහැ .අසාර්ථක මෙහෙයුමක් අවසානයේ අපි දෙදෙනා නැවත පහළට බැස්සා .ඒ වනවිට රෝගියා පිබිදී සිටියා. ඔහු හමුවී සාකච්ඡාකරන්නට හෝම්ස් ඉතාමත් උනන්දුවෙන් සිටියා .අමුත්තෙක් හමුවීමට කැමති දැයි විමසා බලන ලෙස හෝම්ස් කථානායක තුමාගේ පුතුට උපදෙස් දුන්නා . සැනෙකින් ඔහු ආපසු පැමිනියේ ඔහුගේ පියා හොදින් සුවපත් බවත් හෝම්ස්මහත්මයා හමුවීමට කැමති බවත් දැනුම්දීමටයි. ඒ සමගම කථානායක තුමා විසිත්ත කාමරය වෙත පැමිනියා.
" ඉතාමත් කරදරකාරි අවස්ථාවක් වුවත් ඔබ හමුවීම සතුටක්, හෝම්ස් මහත්මයා . ඔබට සුබ දවසක් වේවා ."
"වයිද්‍යවරයෙකු හමුවීමට අවශ්‍ය වෙලාවක ඔබේ පුතුගේ ආරාධනයක් නිසා මට පැමිණීමට සිදුවීම ඇත්තටම මා වුවත් පුදුමයට පත් කළා . නවයොවුන් දරුවෙකුගෙ ඉල්ලීමක් මට කොහෙත්ම නොසළකා හරින්නට බැහැ .මගේ පැමිණීම ඔබට අපහසුවක් නොවන්නට මම ඉතාමත් කැමතියි ."
" හෝම්ස්මහත්මයා , ඔබේ කාරුණික භාවය මම හොදින් දන්නවා .නමුත් මට කියන්න පුළුවන් පුතා හැමවිටම නිවැරැදි තීරණය ගන්නා බවත් කිසිම අවස්ථාවක ඔහුගේ පූර්ව තීරණයක්වැරැදිලා නැති බවත් . පළමුවෙන්ම ඔහු වයිද්‍යවරයෙක් ගෙන්වා තියෙනවා .ඊට පසුව ඔබට ආරාධනා කළබව ඔහු මට කිව්වා .ඔබේ අදහස් බොහෝවිට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ."
" ස්තුතියි ,මැතිතුමනි , එහෙම නම් දැන් කියන්න ඊයේ රෑ සිදුවීම පැහැදිලිව සහ විස්තර සහිතව .ඉතාමත් සුලු සිදුවීමක් වුවත් බොහොම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් . ඔබතුමා ඊයේ රෑ 11 පසුවන තුරුත් යම්කිසි ලිපිකටයුත්තක නිරතව සිටි බවත් එය බොහෝ වැදගත් ලීපියක් හෝ ලේඛනයක් බවත් මට කියන්න පුළුවන් ."
" හෝම්ස්මහත්මයා , කිසිවෙක් දන්නේ නැහැ මම ඊයේ රාත්‍රීයේ ලියූ ලේඛනය පිළිබඳව .මම සුපුරුදු විදියට විදුලි පහන් දැල්වූවෙත් නැහැ .ලියන්න ප්‍රමාණවත් ලොකු ඉටිපන්දමක් පමණයි භාවිතා කළේ .දොර ජනෙල් ඔක්කොම වහලා තිරරෙදි ආවරණය කරලා එළියට ආලෝකය නොවැටෙන විදිහට ඉතාමත් රහසිගත ,රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බර අවි සදහා ඇනවුම් කෙරෙන ඇස්තමේන්තු ලේඛනයක් පිළිබඳව මා දරන්නේ කුමන අදහස්දැයි ප්‍රකාශ කරමින් සකස් කළ ලිපියක් ලිව්වේ. නමුත් ඔබ කොහොමද එහෙම ලිපියක් ලියාපු බව කියන්නේ ? "
" වෙනත් කෙනෙක් දකිනවාට වඩා විශේශිත ආකාරයෙන් යමක් දකින්නට සහ ඒ අනුව නිගමනන්ට එළඹීමට මම පුරුදු වෙලා තියෙන්නෙ .විදුලි බලයෙන් දැල්වෙන බල්බ දෙකක් තියෙන කාමරය තුළ ලාම්පු තෙල් වලින් දැල්වෙන ඇලඩින් ලාම්පුවක් තියෙනවා තෙල් සහ තිරය සහිතව .නමුත් ඔබ ඊයේ රෑ ලොකු ඉටිපන්දමක් දල්වාගෙන පැය දෙකක් පමණ යම්කිසි ලිපියක් ලියලා තියෙනවා. මේසයෙ උඩ තියෙනවා තීන්ත පෑනක්. ඒකෙ තීන්ත අවසන් වෙන්න ඉතාමත්ළඟයි. එහෙම නම් ඒක ගොඩක් වෙලා භාවිතා කරලා තියෙනවා . ඒ කරුණු ඔක්කොම එකතු කළාම මට කියන්න පුළුවන් බොහොම පුද්ගලික සහ වැදගත් ලේඛනයක් ලිව්වා කියලා ."
" අහලා තිබුණා ඔබේ දස්කම් පිළිබඳව .නමුත් මෙතරම් සුවිශේෂී හැකියාවන් නම් මම කවදාවත් දැකලා නැහැ. එංගලන්තයේ හැරෙන්නට ලෝකයේ මහාද්වීප තුනක් ඔබේ සේවය අගැයීමට හේතුව දැන් මට පැහැදිලියි .නමුත් මම පැවසූ ලේඛන පිළිබඳව ඔබේ රහසිගත භාවය මම අපේක්ෂා කරනවා ."
" දැන් මට කියන්න ඊයේ රෑ ඔබට දකින්නට හෝ අසන්නට ලැබුණේ මොනවාද ?"
" මම රෑ 11 .30 ට පමණ මම සියලුම කටයුතු අවසන් කරලා නිදාගත්තා .වෙහෙස නිසා ඉක්මනින් නින්ද ගියා. මම හිතන්නේ රෑ 2.00 ට පමණ මට යම්කිසි අමනුෂ්‍ය හඩක් ඇසුනා .මම ඇහැරිලා ගිනිපෙට්ටිය අරගෙන කූරක් පත්තු කළා , විදුලි බල්බයේ ස්විචය වෙත ළගාවෙන්නට හිතලා . නමුත් දුටුවේ අතිශය භයානක යක්ෂයාමයි .ඇත්තටම හෝම්ස් මහත්මයා , යක්ෂයාමයි .දැනුත් මගේ රෝම කෙළින් වෙනවා .රතුපාට ඇස් , දිගු දත් සහ නියපොතු පවා දිලිසුණා. මට මතක එච්චරයි ",.
" මැතිතුමණි, ඔබ විශ්වාස කරනවාද මිනිස්සුනගේ කටයුතු වලට යක්කු භූතයෝ බලපෑම් කරනවා කියලා ? මගේ ජීවිතය තුළ කිසිම අවස්ථාවක යක්කු භූතයෝ මිනිස්සුන්ට අයහපතක් කරලා නැහැ .නමුත් ඒ විශ්වාස උපයෝගී කරගෙන මිනිසුන් අපරාධ කරලා තියෙනවා .උදාහරණයක් හැටියට බැස්කර්විල් දඩ බල්ලා , කෝනිෂ් නඩුව පිළිබඳව මගේ පරීක්ෂණ පෙන්වන්න පුළුවන් ."
" මම තරුණ කාළේ කිසිම යක්ෂයෙකු ,භූතයෙකු විශ්වාස කළේ නැහැ . නමුත් ඊයේ රෑ නම් දුටුවේයක්ෂයාමයි ."
" යක්ෂයා වගෙම දෙවියන් ඉන්නෙත් මිනිස්සු තුළ පමණයි .කෙනෙකුට තමන්ගේ රුධිරය දෙන්නේ පවා දේවත්වයට පත්වූ මිනිස්සු .ඒ වගෙම ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය සහ වයිරය හෝ තන්හාව නිසා ඉතාමත් නින්දිත අපරාධ කරන්නේ යක්ෂයා බවට පත්වූ මිනිස්සු ."
" හොඳයි ,හෝම්ස් මහත්මයා , බොහොම හොඳයි , එහෙම නම් ඊයේ රෑ මට හමුවූ යක්ෂයා අපිට අල්ලා දෙන්න ."
" අනිවාර්යයෙන් ඔබ සියලුමදෙනාම මට මගේ උපදෙස් අනුව සහයෝගය දෙනවා නම් දින තුනක් ඇතුලත යක්ෂයා පිළිබඳව අනාවරණය කරන්න මම උපරිමයෙන් කටයුතු කරන්න සූදානම්. ඔබතුමා සහ පුතා ඉතාමත් හොදින් ප්‍රවේශමෙන් ඒ කාළය තුළ සේවකයන් දෙදෙනා සමඟ රාත්‍රීය නිදාගත්තොත් මට ඒක ලොකු සතුටක්. එක් අයෙක් නිදා නොගෙන රැකවරණය දෙන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි . නිතරම රිවෝල්වර හෝ පිස්තෝල දෙකක් ළඟ තබාගන්න . බොහෝවිට ඔබතුමා ළඟ එක් ආයුදයක් තියෙනවා ඇති . වොට්සන් තවත් එකක් ඔබට දෙන්නට කැමති බව මා දන්නවා ,."
" හෝම්ස් ,ඔබ කොහොමද දන්නේ මම මගේ රිවෝල්වරය ගෙනාවා කියලා "
" පිටත් වෙන්නට පෙර ඔබේ කැබිනට්ටුවේ ලාච්චුව අරින සද්දය මට ඇසුනා .ඊළඟට ඇසුනේ ඔබේ ට්‍රන්ක පෙට්ටියේ පියන ඇරෙන සද්දය. සාමාන්‍යයෙන් ඔබේ රිවෝල්වරය තියෙන්නෙ ඔබේ කැබිනට්ටුවේ වගෙම පතරොම් තියෙන්නෙ ට්‍රන්ක පෙට්ටියේ බව මා දන්නවා .කාමරයෙන් එළියට එද්දී ඔබේ මුහුණේ ඕනෑම දේකට සූදානම් සෙබලෙකුගේ එඩිතර බැල්ම තිබුණා වොට්සන් . "
" මෙන්න මගේ රිවෝල්වරය .හැබැයි තියෙන්නෙ පතුරොම් දෙකක් විතරයි "
" ඒවා ඇති .රාත්‍රීයක යම්කිසි සැක කටයුතු යමක් දුටුවොත් අනිවාර්යයෙන් දනහිසෙන් පහළට වෙඩි තියන්නට ඕනෑ . නිතරම විමසිල්ලෙන් ඉන්න ඕනෑ .කිසිවෙක් තනිවම රාත්‍රීයක එළියට යන්න එපා .මගේ දුරකථනයට රෑ දවල් ඕනෑම වෙලාවක ඇමතීමට පසුබට වෙන්න එපා. එහෙම නම් අපිට තවදුරටත් මෙහි කරන්න කිසිවක් නැහැ .හෙට උදේ පුතුගෙන් දුරකථන ඇමතුමක් මම බලාපොරොත්තු වෙනවා . සියලුම දෙනාට සුභ සැන්දෑවක් "
හෝම්ස් පැවසුවා .ඔවුනොවුන්ගෙන් සමුගෙන අපි ආපසු බේකර් වීදියට පැමිනියා . හෝම්ස් කිසිම ආකාරයක අදහසක් නොපැවසීම මට ගැටලුවක් නොවූයේ ඔහුගේ සිරිත් විරිත් මට සුපුරුදු නිසායි .එදා රාත්‍රීයේ මා නින්දේදී යක්ෂයා දුටුවේ ජීවිතයේ පළමුවන වරටයි.
"
Auther - සොලමන් පෙරේරා
Comments
Post a Comment