වෙඩිම

  ටිකක් ගැම්මට හිටපං...අද උඹ ගේ දවස..."


නිළමේ ඇදුමින් වම් පස සිටි මිතුරා මාගේ කණට කෙඳුරුවේය.ඔහු දෙවන මනමාලයාය.එනම් මානාලය මාය.ඔහු කිවේ සැබැවකි.අද මගේ දවසය.රඟ දැක්විය  යුතු ප්‍රධාන  භුමිකාව  මා වුවත් තිර පිටපත තිබුණේ ජෝතිරත්න මාමා අතේය.ඔහු කියූ ආකාරයට දෙදෙනාගෙම කේන්දර කිසිසේත් නොගැලපණු  අතර යම් හෙයකින් මේ විවාහය සිදුවුව හොත් ඇගේ ජීවිතයට මාරක අපල ,උපද්‍රව  පවා සිදුවිය හැකි බව ඔහු කිවේය.ජොතිශ්‍ය කටයුතු කරන මගෙ පියාගෙ යහළුවෙකු මැදිහත් නොවුණේ නම් අද  දින මගේ රැඟිලිද  නැත.දෙදෙනාටම දුන්නේ එකම කේන්දර පිටපත්ය.වරද ඇත්තේ ජොතිශ්‍යයේද නැත හොත් ඒ පිළිබඳ  ඔවුන්ගේ දැනුම් මට්ටමේද යන්න ප්‍රෙහෙලිකාවකි .කෙසේ වෙතත් අපගේ ආදර කතාව ජයග්‍රහණය  කර අද දවස කරා එළඹ ඇත.ජයග්‍රාහී  හැඟිමකින් දිඟු හුස්මක් ගත් මා නිළමේ ඇදුමට තේජසක් එක්වන පරිදි පපුව ඉස්සරහට  දමා ගත්තෙමි.

"පුතේ වෙලාව හරි ..යමු දැන්.."

උපන්දා සිට මට උපදෙස් දුන්නේ මගේ මැණියන්‍ ය.මා දන්නා අනෙක් එකකුදු හෝ සුභ වෙලාවක් නැත.ඇය කියන ඔනෑම වෙලාවක් මට සුභය.මා දකුණු  කකුල පෙරට තැබුවෙමි.හිත මිතුරන් ,නැදෑයින්  පිරිවර මැද මා හොටලයේ ද්වාරය  දෙසට ගමන් කළෙමි.ඉදිරියෙන් ඇසුණු මඟුල් බෙර හා සක් හඬත් , නැටුම්කරුවන්ගේ තාලයට ඇසෙන ගායනයත් නිසා  අත පය සොලවා නැටීමට තරම් සතුටක්  දැනුනත් ,මා පපුව ඉස්සරහට  දමා  සිරුවට ගමන් කළෙමි.

පය සේදිමට ඈත තියා සුදානම් වී ඉන්නේ ඇයගේ මල්ලිය.එනම් මගේ ආදරණීය මස්සිනාය. රහසක්ව පවත්වා ගිය අපගේ සම්බන්ධය ඇයගේ අම්මාට මාට්ටු කළේ මූ ය.කාලයක් මට ඈ හා කතා  කිරීමට තහංචි වැටුණේ මොහු නිසාය.පසුව මා ඇයගේ නිවසට ගිය අවස්ථාවලත් මොහු මා දිහා බැලුවේ සොරෙක් දිහා බලන්නාක් මෙනි.ඔහුට එසේ සිතිම වරදක්ද නැත.හොරෙන් නැතත් කෙසේ හෝ අද දින මා ඇයගේ ආදරණිය සොහොයුරිය රැගෙන යනු ඇත.ඔහු වත් කල වතුර සපත්තු කර තුලින් ඇතුලට ගොස් දෙපාද තෙමුණි.මම ඔහුට මුදුවක් තෑගි කළෙමි.මගේ දැස් සොයා ගියේ ඇයවය.මට එකවර අප හමු වූ මුල් දිනය සිහි විය.ඇයගේ දැස් කෙතරම් අවිහිංසකද?එක මොහොතක් එම දෑස් දැක ගැනීමට මා පාරවල් වල පැය ගණන් රස්තියාදු  වූ හැටිද මට සිහිවිය.ඒ සියළු උත්සහයන් මල් ඵ්ල දාරා මංගල සීණු හැඩවෙන අද දිනය  එළඹ ඇත.ඇය අද කෙතරම් ලස්සනට හිඳිවිද?  

මොහොතකට ගල් ගැසි ගියාක් මෙන් මට දැණුනි.සැබැවින්ම මේ ඇයමද ?තවත් මනාළියන් දෙදෙනෙකුට මැදිවි සිටින යුවතිය මනාලිය විය යුතු බවට නම් කිසිම සැකයක් නැත.ඒත්.....මේ මනාලිය මා පෙම් කල ඇයමදැයි මට සිතාගත නොහැකි විය.ඇයව හොරු අරන් ගොස්‍ ය.මේ සියල්ලම චාන්දනි අක්කාගේ හපන්කම් ය.නගරයේ තිබූ ප්‍රධානතම මනාළියන් ඇන්දවිමේ රූපලාවණ්‍ය  ආයතනයේ හිමිකාරිය වු ඇයද අද මංගල සාදයට පැමිණීමට නියමිතය.මනාළියව අන්දවා තිබුණේ මීට දින දෙකකට කලින්ය. ඇය  ලබා ගත් අත්තිකාරම් මුදලෙන් මනමාලිව  හොඳටම  අන්දවා තිබු බව  මට එදිනම  පැහැදිල විය.

මා පෝරුවට ගොඩවන අවස්ථාවෙදි වූ  සුළු පය ලිස්සිමකින් වැටිමට ගියෙමි.ඒ  මොහෙතේ නැන්දාම්මාගේ මුහුණේ තිබු නොපහන් ගතිය අෂ්ඨක  කියන අව්ස්ථාවේදිද නොවෙනස්වම පැවතුනි.කේන්දර,නැකැත්  , වෙලාවන් හා හණමිටි අදහස් පුරවා ගත් නැන්දාම්මාගේ  ආදරණිය මැණියන්ද එවාට උඩගෙඩි දෙයි.එතුමිය මට වල කැපුවේ මුල සිටමය.කේන්දර කිසිසේත් නොගැලපෙන බැවින් කිසිවිටෙකත් සිදු නොවිය යුතු විවාහයක් ලෙසට ජෝති රත්න මාමා එක හෙළා කියු බැවින් පෝරුවට ගොඩවන සුභ  මොහොතේ මාගේ පය පැටලීම අසුභ නිමිත්තක සෙයාවක් ලෙස ඔවුන්  සිතනවා ඇත.මෙය තවත් තිව්‍ර වුයේ පොල් ගෙඩිය බිඳිමේ සිද්ධියත් සමඟය.ඇයගේ මමාකෙනෙකු පැමිණ දෑත බදා වැරෙන් පොල්ගෙඩියට ගැසුවද එය කැරකි කැරකි විසිවි ගියේය.රත්තරං  මාමගේ අති සාර්ථක දෙවන වෑයමත් එසේම විය.පොල් ගෙඩිය නොබිදුණද නැන්දාම්මාගේ  සිත බිඳි ගොස්  ඇති බව නම් ඒකාන්තය.මිත්තණියද ජෝතිරත්න මාමා සමඟ මොනවාදෝ කුටු කුටු ගායි. "බුදු මාමේ ..මේ පාරවත් හය්යෙන් ගහපං " යැයි මගේ සිත කෑ ගැසුවද පෝරුවේ සිටි මට එසේ කෑ ගැසිය නොහැකිය.මාමාගේ තුන්වන පහරින් පොලේ බිඳුනද නැන්දාගේ සිත  ඊට පෙර බිඳි  ගොස් තිබුණි.

"මොකද අම්මාගේ මුණේ හිනාවක්වත් නැත්තේ..? "

"කාගේ අම්මාගෙද අනේ..?"

"ඔයාගේ අම්මාගේ තමා..උදේ ඉඳන් මූණ එල්ලගෙන.."

මූණ එල්ලගෙන  ඉන්නැතුව ගලවලා තියලා ඉන්නද ? අදවත් අම්මාගේ වැරදි කියන්නැතුව ඉන්න..විකාර ඔයාට.."  

පාට උලා තිබු තොල්පට අතරින් ඈ කතාකළේ ඇගේ මුවටත් හොරෙන්‍ ය.මුහුණට වැටෙන ඩා බිඳු කුඩා කොලකැබැල්ලකින් නිතර පිසදමමින් ඇය සිටියේ "මෙක් අප් " තට්ටුව රැකගැනීමේ අරගලයකය.

"වෝෂ් රූම් යන්න ඕනද ?"

ඇය යම් අපහසුවකින් සිටි නිසා මම ඇසුවෙමි.

"ඇයි එහෙම ඇහුවේ?"

"නෑ ..නිකන්.."

"පාන්දර ඉඳලානේ අන්දන්න ගත්තේ....කැවෙත් නෑ එක නිසා වැඩිය..ඔළුව පොඩ්ඩ්ක් කැක්කුමයි..එකයි.."

"අන්න හරි...තව ටිකක් ඔළුව උස්සන්න..ආ...හරි.....තව පොඩ්ඩක් කට උල් කරන්න...තව ටිකක් ළං වෙන්න....අන්න හරි......"

ඡායාරූප ශිල්පින්ට මොහොතකට අපි අවනත විමු.පසුව නැදෑ හිතමිත්‍රාදීන් සමගද ඡායාරූප ගත්තෙමු.දැන් සාදයේ තරමක් උද්‍යෝගි බවක් ඇත.නොනවත්වා ඇසේන මිහිර සංගීතය බොහෝදේනා තුල ප්‍රබෝධමත්  ගතියක් එක් කර ඇත.මීවීතත් සමඟ ඕද වැඩුණු එම ප්‍රබෝධය සතුටත් සමඟ   දෝරේ  ගලයි.ශාලාවේ ඉදිරියේ නටමින් සිටි එකෙකු කැරකි ඇවිත් මගේ ඇඟේ වැදිණි.ඔහුගේ වැලමිට මගේ ඉලයේ ඇණිනි.මේ ඇයගේ පොඩි මාමාය.පොලේ බිඳු එකාගේ බාල එකාය.අපගේ ආදර සම්බන්ධය  දැනගත් කාලයේ ඇයගේ පවුලත් සමඟ  තිබු නැදෑ  කම් අත ඇර දමන්න කිව්වේ මොහුය. එසේම විවාහයට පස් පාගන්නටවත් මොහු එන්නේ නැති කතාවකුත් ඈ මා සමඟ  කිවා මට මතකය.නමුත් දැන් සියල්ලම හොදින්  සිදුවෙමින් පවති.සියලු අමනාපකම් පහව ගොස්‍ ය.මෙවැනි මංගල දිනෙක එවැන්නක් හැර වෙන කිනම්  මංගල කාරණාද?

"හරි ගියාම ඔහොම තමයි ..ආපු වෙලේ ඉඳන් බැලුවා උඹ  එක්ක වචනයක් කතා කරන්න......"

ශාලාවේ මේසයක වටවී වාඩිවි සිටි මිතුරෙකු මා අතින් ඇද ඇසුවේය.ඔවුන් ආ මොහෙතේ  කතා කලා හැරෙන්නට කැවාද වත් අසන්නට මට  ඉස්පාසුවක් නොවිය.පාසල් කාලයේ මගේ හොඳම මිතුරන්‍ ය.කතා කිරිමට  බොහෝ දේ ඇත.සංගීතයේ හඬටත් උඩින් විදුරු පිඟන්වල හැඳි ගැරුප්පු ගැටෙන හඬ ඇසෙයි.අල්ලපු මේසයේ සිටින්නේ චාන්දනි අක්කාය.පිඟානේ වු මස් කැල්ල කැඩීමට ඈ හැන්දෙනුත්, ගෑරුප්පුවෙනුත් පොරබදයි.

" කෝ බන් මනමාලි.. දැක්කෙත් නෑ හරියට..එක්කගෙන වරෙන්කො හංගන් ඉන්නැතිව..."

"හිටපං ..මන් එක්කන් එන්නම්..ෆෝටෝ එකක් ගමු කට්ටියම.."

ටික වෙලාවක පටන් මා ද ඇය දුටුවේ නැත.ශාලාව පුරා හමුවන හිතවතුන්ගේ සුභ පැතුම් මැද මා ඇය සොයා අවෙමි. ඇගේ අත්තම්මා සිටියේ ඉවත බලා ගත්වන මය.වටකර ඇයට උපදෙස් දෙමින් සිටියේ ආදරණිය  නැන්දාම්මාත් ජෝතිරත්න මාමාත්‍ ය.ජෝතිරත්නයාගේ උපදෙස් ඒ හැටි වැදගම්මකට නැත.අපගේ සම්බන්ධය  දැනගත් පසු මිත්තණිය  මුලින්ම කලේ මගේ හඳහන් කොපි ගෙන්වා ජොතිරත්නයා ලවා බලවපු එකය.එදා සිට මගේ මාරක අපලය ඔහුය.වරක් මිත්තණිය මාර්ගයෙන් ජොතිරත්නයා ඔහුගේ  පුතා පිළිබඳ  විවාහ යෝජනාවක්  ඇයට ගෙනවා මට  මතකය.ඒ සියළු බාධක ජය ගෙන    සිකුරා ලැබු  මංගල දිනයේ ජොතිරත්නයා නැමති ඒරෂ්ඨකයේ  අදුරු හෙවණැල්ල  දවස පුරාම හොල්මන් කරනු දැකීම මගේ සිතට මහත් වදයකි.නමුත් සියල්ල හොඳින් අවසන් විය.

දැන් ජෝතිරත්න  මාමාද නැත.නැන්දම්මාද නැත.දුවගේ මාරක අඵලය මා යැයි කියමින් නැන්දම්මාද  උසිගැන්වූ මහා උපාසිකාවද නැත.දවස පුරාම අපගේ ඉරියව් දෙස  සිනාසි බලා ඉඳ  දිනයේ  මතකයන්  සුන්දර  සිහිවටනයන් බවට පත් කල  කැමරා දැස් ද වැසි ගොස්‍ ය.සියළු  බැඳිම් හා සිමා වලින් මිදි දැන් ඇත්තේ ඇයත් මාත් පමණි.සුවදායි ස්නානයකින් පසු මා නැවත කාමරයට පැමිණෙන විටත් ඇය මෙතෙක් වෙලා සිටි කල්පනා ලොවෙන් මෙතරට පැමිණ  නැත.ඇයත් මාත් පෙරුම් පුරමින් බලා සිටි දවසකි අද.දවස දැන් නැත.ඇත්තේ හෝරා කීපයකි.

"තාම ඔළුව කැක්කුමේ අඩුවක් නැද්ද? "

"නෑ ..ඇඟටත් හරි නෑ...කලන්තේ වගේ..."

"මොනාහරි කමු එහෙනම්.. ඉන්න..මම ඔඩර් කරන්නම්..."

"එපා..."

"ඇයි..?"

"කන්න බෑ අනේ දැන්.."

"කන්න බෑ..?? ඇයි දවලෙත් වැඩිය කැවේ නෑ නේද? "

"ඔව්...ඒත්.."

"ඇයි ඒත්..?"

"මෙහේ කෑම වලට ගොඩක් තෙල් දානවා නේද..?"

"ඉතින්.."

"නෑ..කොකටත් දවස් හතක් විතර යනකම් මට පරිස්සම් වෙන්න කිව්වා.."

"පරිස්සම් වෙන්න? මොනාවලින්ද?"

"තෙල් කෑම වලින්,මම කිරි එකක් බොන්නම්.."

"කව්ද කිව්වේ?"

"ජෝතිරත්න  මාමා.."

පරිස්සම් විය යුත්තේ තෙල් කැම වලින් නොව ජෝතිරත්නයාගෙන්‍ ය.ග්‍රහලෝකයි තරුයි කරකවමින් බේගල් ඇද අනෙකාගෙත් ජිවිත කුරවලු කරන ඔහුගේ  වචන වලින්‍ ය.ඇත්තටම අද දවස මගේ යැයි සිතුවද එය මගේ නොව. ජොතිරත්න මාමගෙය..දහවල සොරා ගෙන ගිය මනාමාලි රාත්‍රියේද ඒන පාටක් නැත.වරද ඇත්තේ මගෙද? නැත්තම් පොල් ගෙඩියේද? එය බින්ඳේ මාද නොව. ඇයගේම මාමා කෙනෙක්ය.

"එහෙනම් ඉන්න..මම කිරි එකක් හරි ගෙන්නම්..."

එපා අනේ ..මහන්සයිි..මම  ටිකක් නිදාගන්නද..ඔයා මොනාහරි  කාලා එන්න..

බිත්තියට දෙසට හැරුනු ඇයගේ දෙවුර මදවෙලාවකින් සැලෙන්න්ට පටන් ගත්තෙය.දවස් හතක් යන තුරු පරිස්සම්  වෙන්න කිව්වෙ තෙල් කෑම වලින්ද ?නැත්තන් මාගෙන්ද? මා සිතුවා හරිය.අද දවසේ වූ සියළු සිදුවිම් එක පෙළට  මට සිහිවිය.ඈ ඉකි බිඳිමින් අඩන හඬ මට ඇසුණි. 

                                                නිමි,
                                                රංගනාත්  වීරසිංහ.

Comments

Popular posts from this blog